ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනපති විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි Featured

    ජූලි 08, 2016

    වර්තමානයේ ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාළිකා සහ ගුවන් විදුලි නාළිකා තම ගුවන් කාලයෙන් සියයට 80 ක් පමණ ආණ්ඩුව විවේචනය කිරීම සඳහා වෙන් කර ඇති බවත්  රටේ සංවර්ධන කටයුතු සහ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තින් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සියයට 20 ක් පමණක් වෙන් කර ඇති බවට වාර්තා වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා ඊයේ (07) මේ බව සඳහන් කළේය.

    ජනාධිපතිතුමා යටතේ පවතින ආයතනයක් ලෙස ආයතනයේ ව්‍යුහය සහ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2004 වසරේ සිට රටේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වුවත් එහි කටයුතු සොයා බැලිමට ජනාධිපතිවරයෙකු ගිය පළමු අවස්ථාව මෙයයි.

    කාර්ය මණ්ඩලය විසින් මෙහිදී මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයා පිළිගත් අතර එම පිරිස ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ මහත් ප‍්‍රසාදය පළ කර සිටියහ.

    ආයතනයේ පවතින පුරප්පාඩු පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර සුදුසුකම් ඇති නිළධාරින් කඩිනමින් ඒ සඳහා බඳවා ගැනීමට ද උපදෙස් දුන්නේය.

    රජය විවේචනය කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති මුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙන යමින් තම මාධ්‍ය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳ මාධ්‍ය ආයතන වෙත මග පෙන්වීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිවරයා නිළධාරින්ට කරුණු පෙන්වා දුන්නේය.

    එය කිසිසේත් මාධ්‍ය මර්ධනයක් සඳහා කරන කටයුත්තක් නොවන අතරම ජනතාවට හරවත් මාධ්‍ය භාවිතයක් පිළිබඳ අයිතිය ලබාදීම වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

    එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් තමන්ට ලබාදී ඇති සංඛ්‍යාත පරාසයන් අභිබවා යමින් නීති විරෝධි ලෙස කටයුතු කිරීම පිළිබඳව සොයා බැලීමට නවීන තාක්ෂණය උපයෝගි කර ගැනිමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී නිළධාරින්ගේ අවධානය යොමු කළේය.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වඩා මහජන සම්බන්ධතාවයක් ඇති ආයතනයක් ලෙස ගොඩනගමින් එහි කාර්ය භාරය සහ සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

    විදුලි සංදේශන නියාමන පනත සංශෝධනය කිරීමේ කටයුතු පිළිබඳව නිලධාරින් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    දූරකතන ගාස්තු සඳහා පනවා ඇති වැට් බද්ද හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සහ ඒ සඳහා වඩා සරල බදු ක‍්‍රමයක් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව ද නිලධාරින් ජනාධිපතිවරයා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya