ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා සහ කැනඩා විදේශ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක්

    ජූලි 31, 2016

    දමිළ හා සිංහල යන රාජ්‍ය භාෂා ද්විත්වයෙන්ම රාජ්‍ය සේවා සැපයීමේ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා උපකාරීවන   ”ජාතික භාෂා සමානාත්මතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් කැනඩාව සමඟ අවබෝධතා ගිවිසුමකට  එළඹෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කැනඩා අමාත්‍යවරයාගේ  මෙම සංචාරයත් සමඟම දෙරට බහු ආංශික හා ද්විපාර්ශ්වික සබඳතා ගොඩනැඟීමෙහි ලා මෙන්ම දෙරටේ ජනතාව අතර ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමෙහිලා කැපවී කටයුතු කරන බව තහවුරු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.


    සංවර්ධන සහයෝගීතාවය, ප‍්‍රතිසංධාන ප‍්‍රයත්න, ආර්ථික සහයෝගීතාවය, ආණ්ඩුකරණය හා දෙරට අතර ජනතාවගේ සබඳතා, ද්වීපාර්ශ්වික සබඳතා යනාදි කාරණා ගණනාවක් පිළිබඳ සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවට ආර්ථිකමය වශයෙන් සාමයේ ප‍්‍රතිලාභ ලබා දීමේ වැදගත්කම පිළිබඳවත් ප‍්‍රතිසන්ධානය හා සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "සුබ සැන්දෑවක් නෝනාවරුනි, මහත්වරුනි,

    කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ස්ටෙෆාන් ඩියොන් මැතිතුමා ශ‍්‍රී ලංකාවට පිළිගනු ලබන්නේ මහත් ගෞරවයකින් මෙන්ම විශාල සතුටකිනි. ගරු ස්ටෙෆාන් ඩියොන් මැතිතුමාගේ සංචාරය කැනඩාව සමඟ අප පවත්වා ගෙන යනු ලබන ද්වීපාර්ශ්වීය සබඳතාවල වැදගත් සංධිස්ථානයක් වෙයි. කැනඩාවේ විදේශ අමාත්‍යවරයෙකු ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙන්නේ වසර 13 ට පසුවය. කැනඩාව සහ ශ‍්‍රී ලංකාව භූගෝලීය වශයෙන් දුරින් පිහිටි රටවල් දෙකක් වුවද වසර ගණනාවක් පුරා සුවිශේෂි සබඳතාවක් භුක්තිවිද තිබේ.

    මෙම සංචාරයත් සමඟම අපගේ බහු ආංශික හා ද්විපාර්ශ්වික සබඳතා ගොඩනැඟීමෙහි ලා මෙන්ම දෙරටේ ජනතාව අතර ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමෙහිලා කැපවී කටයුතු කරන බව අපි තහවුරු කර ඇත්තෙමු. දෙවන ලෝක යුධ සමයේ වින්ස්ටන් චර්චිල් විසින් ”ලංකාවේ ගැලවුම්කාරයා” ලෙස හඳුන්වනු ලැබූ ලංකාවේ සේවය කළ රාජකීය කැනේඩියානු ගුවන් හමුදාවේ තරුණ නියමුවා වන ලියනාර්ඩ් බර්චාල් පිළිබඳව ඔබ අසා ඇති බවට කිසිදු සැකයක් නැත. එකල ලංකාවේ ආරක්ෂාව සඳහා ලබා දුන් කැනේඩියානු දායකත්වය අනුස්මරණය කරනු වස් වර්තමානයේ කොග්ගලදී ප‍්‍රතිමාවක්ද දක්නට තිබේ.

    ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය මේරී අර්වින් රත්නම් මැතිණිය සහ අම්පාරේ හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය ස්ථාපනය කල මහාචාර්ය එවන් ඇලන් හාර්ඩි මහතා පරම්පරා ගණනාවක් පුරා ශ‍්‍රි ලාංකිකයන්ගේ සිත් සතන් තුළ සනිටුහන්වී තිබේ.

    කැනඩා රජයේ ත්‍යාගශීලීත්වය තුළින් වසර ගණනාවක් පුරා අපි ඵල ප‍්‍රයෝජන ලබා ඇත්තෙමු. කටුනායක ගුවන් තොටුපල සඳහා ආධාර ලබා දීම, ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය ඇන්ජින් ලබා දීමෙන් මාදුරු ඔය ජලාශයේ වේල්ල ඉදි කිරීමේ කටයුතු වලට ආධාර ලබා දීමෙන් මෙන්ම සුනාමි ව්‍යසනයේදී හා ත‍්‍රස්තවාදී ගැටුම් මැඩපැවැත්වීම සඳහා ආධාර ලබා දීමෙන් කැනඩාව අපට සහාය වී ඇත. ත‍්‍රස්තවාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවලදී  පිහිට සෙවූ අපේ සහෝදර ජනතාවට කැනඩාව පිළිසරණ වී ඇත.

    ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නිමා වීමෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර ගැනීම, යහපාලනය, නීතියේ ආධිපත්‍ය සලසා ගැනීමත්, සංහිඳියාව සලසා ගැනීමත් කල් පවත්නා සාමය උදා කර ගැනීමත්, අළුත් හවුල්කාරකම් ගොඩනගා ගැනීමත් දණ්ඩ මුක්තිය ගොඩනඟා ගැනීමත් සඳහා ශ‍්‍රී ලංකාවේ අපි ලෝකවාසි සියලූදෙනාම සමග සුහදව කටයුතු කරමින් අලූත් හවුල්කාරකම් ගොඩනගාගනිමින් සියලූ ලෝකවාසීන්ගෙන් උපරිම සහාය බලාපොරොත්තුවෙන් කටයුතු කරමු.

    අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය යන ස්ථම්භක මත නව ශ‍්‍රී ලංකාවක් ගොඩනඟාගැනීමේ මාර්ගයක නියැලී සිටිමු. නිදහසින් පසුව අපට අහිමිවෙමින් තිබුණු සීඝ‍්‍ර ආර්ථික වර්ධන වාසි හා සෞභාග්‍ය නැවත උදා කර ගැනීමට මෙම ගමන් මඟ ඉවහල් වී ඇත. අපගේ දේශීය හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සඳහා සහය විය හැකි වූත්, තාක්ෂණික විශේෂඥතාවය, වෙළද හා ආයෝජන මගින් අපිට උපකාර කළ හැකි වූත් කැනඩාව වැනි මිතුරන් සමීප කර ගැනීමට අපි බෙහෙවින් උනන්දු වන්නෙමු.

    අද අප අතර පැවති රැස්වීමේදී සංවර්ධන සහයෝගීතාවය, ප‍්‍රතිසංධාන ප‍්‍රයත්න, ආර්ථික සහයෝගීතාවය, ආණ්ඩුකරණය හා දෙරට අතර ජනතාවගේ සබඳතා, ද්වීපාර්ශ්වික සබඳතා යනාදි කාරණා ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය.
    ශ‍්‍රී ලංකාවේ ජනතාවට ආර්ථිකමය වශයෙන් සාමයේ ප‍්‍රතිලාභ ලබා දීමේ වැදගත්කම පිළිබඳවත් ප‍්‍රතිසන්ධානය හා සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබඳවත් අපි එහිදී වැඩිදුරත් සාකච්ඡා කළෙමු.
    කැනඩාවේ ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව සමඟ එක්වී කටයුතු කිරීමට අප උනන්දුවන බවත් කලකට පෙර ඔවුන් අතහැර ගිය හෝ ඔවුන්ට හැර යාමට සිදුවූ රටට නැවත පැමිණෙන ලෙස ආරාධනය කරන බවත් මම අමාත්‍ය ඩියෝන් මහතා වෙත දැන්වීමී. ඔවුන්ට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන හා සංවර්ධන ප‍්‍රයත්නයන්ට අර්ථාන්විතව දායක විය හැකි ඉඩ ප‍්‍රස්ථා සොයා බලන මෙන් ආරාධනා කිරීමට කැමති බවද තව දුරටත් පැහැදිලි කළෙමි.


    අද උදෑසන විදේශ කටයුතු අමාත්‍ය ඩියෝන් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් බැහැදැකීය. එහිදී ඔවුන්ට අප දෙරට අතර සමීප හා මිත‍්‍රශීලි සබඳතා වර්ධනය කළ හැකි ආකාර හා විධික‍්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් සැළසුනු බව මම විශ්වාස කළෙමි.

    අද දින අමාත්‍ය ඩියෝන් මහතා මා මිත‍්‍ර ගරු මනෝ ගනේෂන් අමාත්‍යවරයා හමුවී දමිළ හා සිංහල යන රාජ්‍ය භාෂා ද්විත්වයෙන්ම රාජ්‍ය සේවා සැපයීමේ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා උපකාරීවන   ”ජාතික භාෂා සමානාත්මතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇත.

    අමාත්‍ය ඩියෝන් මහතා යාපනයේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන අමාත්‍යවරයා සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් හමුවීමත් කැනේඩියානු ආධාර යටතේ ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමත් සිදුවේ.

    දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට මහත් පරිශ‍්‍රමයෙන් කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ෂෙලී වයිටින් මහත්මිය ඇතුළු එතුමියගේ කාර්ය මණ්ඩලය වෙත අපගේ ස්තූතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කොට ගනිමි.

    විදේශ අමාත්‍ය ඩියෝන් මහතාණෙනි, ඔබටත් ඔබගේ නියෝජිත මණ්ඩලයටත් ශ‍්‍රී ලංකාවේ ගත කරන කාලය සුවදායි එකක් වනු ඇති බවට මා ප‍්‍රාර්ථනා කරන අතරම ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්ය හා පෞරාණික වටිනාකමින් යුත් ස්ථාන දැක බලා ගැනීම උදෙසා නුදුරු දිනකම යළිත් මෙහි සංචාරය කරනු ඇතැයි අපේක්‍ෂා කරමි.
    ස්තූතියි. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya