ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අගමැති චීනයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම ගැන කරුණු පැහැදිලි කරයි Featured

    අගෝස්තු 16, 2016

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම උදෙසා ෂෙන්ඡන් ප්‍රදේශයේ ආයෝජකයන් පෙළඹවීමටත් ක්‍රියා කරන බව චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ෂෙන්ඡන් නගර සභා කමිටු ලේකම් සහ ග්වන්තුං ප්‍රාන්ත උප ලේකම් මා ෂිංරුයි මහතා පැවසීය.


    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස  ඊයේ (15) ෂෙන්ඡන් නුවර ශැන්ග්‍රිලා හෝටලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ෂිංරුයි මහතා වැඩිදුරටත් සඳහන් කළේ කර්මාන්ත කලාප සහ අධි තාක්‍ෂණික කලාප පිහිටුවා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් තම නගරයට සුවිශේෂී විශේෂඥ අත්දැකීම් ඇති බවය.

     

    එම අත්දැකීම් හා විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව හා බෙදා හදා ගැනීමට සූදානම් බව ද ෂිංරුයි මහතා අවධාරණය කළේ ය.

     

    වරාය සංවර්ධන කාර්යයන් සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධව තම නගරය දශක 3 ක පමණ කාලයක් තුළ දැවැන්ත ප්‍රවර්ධනයක් ලබා ඇති බව පැහැදිලි කළ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම්වරයා එම දැනුම ද ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය සඳහා ලබා දීමට තමන් කැමැත්තෙන් සිටින බව ද පැවසීය.

     

    ගෝලීය ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ අනාගත අභියෝගයන් හා අපේක්‍ෂාවන් ජය ගැනීම උදෙසා ක්‍රියාත්මක කරලීමට බලාපොරොත්තු වන ආර්ථික සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.

     

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් ලබා ගත හැකි වාසිදායක තත්ත්වයන් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා දූත පිරිස කරුණු පැහැදිලි කර දුන්නේය.

     

    මෙහිදී කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් ෂිංරුයි මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා මුලින්ම ෂෙන්ඡන් නගරයට පැමිණි 1979 වසරේ මේ නගරය සාමාන්‍ය මට්ටමේ එකක් බව ය. ලෝකයට සිය ආර්ථිකය විවෘත කළ චීනයේ මුල්ම නගරය මෙය බව ද, විවෘත ආර්ථික ක්‍රියාවලිය ඔස්සේ, චීන අනන්‍යතාව සහිත සමාජවාදී වැඩ සැලස්මක් හරහා දශක 3 ක් ගත වෙද්දී චීනයේ දියුණුතම හා නවීනතම නගරයක් බවට පත් වීමට තමන්ට හැකි වූ බව ද ඔහු පැවසීය. අද නිෂ්පාදන හා වෙළඳ කටයුතු පිළිබඳව මුළු ලොවට ම ආදර්ශ නගරයක් වීමට තමන්ට හැකි වී ඇති බව ද ඒ මහතා පැවසීය.

     

    ෂෙන්ඡන් නගරයේ දියුණුවට මුල් වූ හේතු සාධක පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේ සිදු කෙරෙන නිරීක්‍ෂණ චාරිකාවන් හි දී අධ්‍යයනය කිරීමට හැකි වනු ඇති බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

     

    ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං, ෂෙන්ඡන් මහනගර කොමියුනිස්ට් පක්‍ෂ කමිටු මහලේකම් හා ස්ථාවර කමිටු සාමාජික ග්වෝ යොංහැං, ෂෙන්ඡන් නියෝජ්‍ය නගරාධිපති අයි ෂුයෙෆෙං, චයිනා මර්චන්ට් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හු ජියැන්හුවා, ෂෙන්ඡන් විදේශ කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටැං ලිෂියා, රාජ්‍ය සම්පත් අධීක්‍ෂණ හා පරිපාලන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ගඕ සිමින්, ආර්ථික, වෙළඳ හා තොරතුරු කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජියා ෂියැංතුං ඇතුළු නිළධාරීහු ෂෙන්ඡන් නගර පාර්ශවය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya