ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීම ලබන ජනවාරියේ සිට Featured

    සැප්තැම්බර් 12, 2016

    නගරයේ පැල්පත්වල සිටින ජනතාවට හොඳ නිවාස ලබාදී නගරයද දියුණු කළ යුතු බවත් ග්‍රාමීය ජනතාවගේ මෙන්ම මධ්‍යම පාන්තිකයාගේ නිවාස ප්‍රශ්නයටත් උපකාර කළ යුතු අතර ලබන ජනවාරි මාසයේ සිට නිවාස ලක්‍ෂ 5ක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ 70 වෙනි සංවත්සරයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එම සම්පුර්ණ කතාව පහත සඳහන් වේ.


    "හැත්තෑ වෙනි සංවත්සරය අප සමරන්නේ එක පක්‍ෂයකට සීමා වී නොවෙයි. මෙය ජාතික උත්සවයක්. 1946 එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කළ මොහොතේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රකාශ කළේ මේ පක්‍ෂය ආරම්භ කිරීම අපේ අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට පමණක් දෙවැනි වේ යනුවෙනි.

    එක්සත් ජාතික පක්‍ෂය අද වන විට එතුමාගේ ප්‍රකාශය ඔප්පු කොට තිබෙනවා. රටේ සංවර්ධනයට, දියුණුවට මෙන්ම, ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකීමටත් පක්‍ෂයක් ලෙස අපි කැප වෙලා ක්‍රියා කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසය ඒ අනුව හැඩ ගැස්වීමට අප ක්‍රියා කොට තිබෙනවා. ඒ සියලූ කාරණා අනුව එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉන්ද්‍රඛීලයක් බවට පත්වී සිටිනවා.
    පළමුව මා එක් පුද්ගලයකුට ස්තූතිය පුද කරනවා. මන්ද ඔහු සිටියේ නැති නම් එක්සත් ජාතික පක්‍ෂයක් අද නැහැ. 1915 ඇති කෝලාහලය අවස්ථාවේදී සිංහල නායකයින් වෙඩි තබා ඝාතනය කිරීමට ඉංග්‍රීසින් නියෝග ලබාදුන් විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ පොන්නම්බලන් රාමනාදන් මැතිතුමායි.
    එක දෙමළ මනුෂ්‍යයකුගේ ක්‍රියා කලාපය නිසා ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු ඉන් පසු බිහි වූ සියලු නායකයින්ගේ ජීවිත ආරක්‍ෂා වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමාත්, ඩඩ්ලි සේනානායක මැතිතුමාත්, සර් ජෝන් කොතලාවල මැතිතුමාත්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත්, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත්, ඩී.බී. විජේතුංග මැතිතුමාත් මේ පක්‍ෂයට දුන්න නායකත්වයත් නිසා රට දියුණුව කරා පැමිණුනා.
    මේ නායකයින් සමඟ අපේ පක්‍ෂය හදන්න තවත් නායකයින් බොහෝ පිරිසක් එකතු වී සිටියා. උක්වත්ත ජයසුන්දර, එස්.ඩබ්ලිව්. අමරසූරිය වැනි නායකයින් සේම අදටත් පක්‍ෂ මූලස්ථානයේ සිට ගමේ බිම් මට්ටම දක්වා සිටි සියලු නායකයින් පක්‍ෂය වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. පක්‍ෂය ඉදිරියට ගියෙත්, පක්‍ෂය ආරක්‍ෂා වුණෙත් අපේ පාක්‍ෂිකයා නිසයි. ඔවුන් එදත් අදත් පක්‍ෂය ආරක්‍ෂා කරන්න දිවි හිමියෙන් කැප වුණා.

    පාක්‍ෂිකයින් පක්‍ෂය වෙනුවෙන් තම රැකියා අහිමි කර ගත්තා. ඉන්න හිටින්න තිබූ දේපොළ නැති කර ගත්තා. 1982 සිට ගත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට බිලි වූ නායකයින් අතර, අපේ සභාපතිවරු, ලේකම්වරු ගණනාවක් සිටිනවා. ඒ අතර, දස දහස් ගණන් පාක්‍ෂිකයින් ද සිටිනවා. ඔවුන් සියලු දෙනාම කළ කැපකිරීම අප අමතක කරලා නැහැ. ඔවුන් සහ අද සිටින පාක්‍ෂිකයින් පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීමට මා දෑත් එක් කොට ආචාර කරනවා.

    පක්‍ෂයක් ලෙස රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්නට කළ සේවය සම්බන්ධයෙන් මා ආඩම්බර වෙනවා. අපේ පක්‍ෂයෙන් යම් අතපසුවීමක් සිදු වුණා නම් ඒ වෙනුවෙන් මා ඔවුන්ට කනගාටුව පළ කරනවා. අපේ පක්‍ෂයෙන් යම් වරදක් සිදු වුණා නම් මම සමාව ඉල්ලා සිටිනවා.

    අවුරුදු 70 ක් ගත කර සිටින එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන පක්‍ෂයකට පමණක් සීමා වී නැහැ. අපි බොහෝ දෙනෙකුට පක්‍ෂය අපේ ජීවන පිළිවෙත වී හමාරයි. සමහරු සිය ජීවිත කාලයම ගත කර කරලා තියෙන්නේ පක්‍ෂයත් එක්කයි. මගේ පරම්පරා තුනක්ම මේ පක්‍ෂයත් එක්ක ගෙවිලා ගියා. එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කිරීම වෙනුවෙන් බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයේ පළමු රැස්වීම පැවැත්වීමේ අයිතිය හිමි වෙන්නේ මගේ සීයාටයි.

    මගේ දහසය වෙන උපන්දිනය ගෙවුණු 1965 දී ඩඩ්ලි සේනානායක මැතිතුමා අගමැති ධූරයේ දිවුරුම් දීම වෙනුවෙන් පිටවී ගියේ අපේ නිවසේ සිටයි. 1972 සිට අවුරුදු හතලිස් හතරක කාලයක් පක්‍ෂ සාමාජිකයකු ලෙස පක්‍ෂයටත්, රටටත් සේවය කරන්න අවස්ථාව හිමි වුණා. මා හා සමානව පක්‍ෂය වෙනුවෙන් මෙවැනි සම්බන්ධතා තිබෙන අය ලක්‍ෂ ගණනාවක් රටේ සිටිනවා.
    එදා මට ඩී.එස්. සේනානායක මැතිතුමා හැර ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ සිට විජේතුංග ජනාධිපතිතුමා දක්වා පක්‍ෂයේ සිටි නායකයින් සමග වැඩකටයුතු කිරීමට අවස්ථාව උදා වුණා. එය මා ලද භාග්‍යයක්.
    ලංකාවේ සිටින ප්‍රධාන පක්‍ෂ දෙකේ ප්‍රධානීන් සේම සෑම ජන කොටසකම නායකයින් එකම ස්ථානයකට කැඳවා ගෙන ඒමට හැකි වීම ගැන මා ප්‍රීතියට පත් වෙනවා. 1946 දී මේ පක්‍ෂය ආරම්භ වුණෙත් එවැනි ආකාරයටයි. එදා ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්‍ෂය ජාති, ආගම් භේද විය නොහැකියි කියලා. අපි ජාති, භේද වාදීන් නොවෙයි.  සියලු ජාතීන් එකතු වූ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගොඩනැගීමට අපි කැපවී සිටිනවා.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇති වී තිබෙන මේ ජාතික ආණ්ඩුවට සියලූ ජාතීන් එකතු වූ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඩනැගිය හැකියි. සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් ගැන අපි ආඩම්බර වෙනවා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ගැන අපි ආඩම්බර වෙනවා. මේ සියලු ජාතිකයින්, ආගමිකයින් එකතු වී එකාවන් වැඩ කළ යුතුයි.

    අපි සියලු දෙනාම දේශප්‍රේමී පක්‍ෂයක් යටතේ සිටින අයයි. අපි කිසිවිටක දේශද්‍රෝහී වැඩ කරලා නැහැ. මා කිසිදු අවස්ථාවක මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය සමඟ ගිවිසුම් ගහලා නැහැ. එලෙස ගිවිසුම් ගසා ඡන්දය දිනනවාට වඩා පරාජය වීම සතුටට කාරණයක්.

    දේශද්‍රෝහී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගිවිසුම් ගැසීම අද සමහරුන්ට අනුව දේශප්‍රේමී ක්‍රියාවක්. නමුත් එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම් ගැසීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි ඔවුන් හඳුන් වන්නේ. ලක්‍ෂ්මන් කදිරගාමරන්, සී.වී. ගුණරත්න ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගිවිසුම් ගැසීම මේ අයට අනුව දේශප්‍රේමී කටයුත්තක්. නමුත් බණ්ඩාරනායක මහතාත් ආරම්භක සාමාජිකයකු වූ එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම් අත්සන් කිරීම ඔවුන්ට දේශද්‍රෝහී ක්‍රියාවක්. ප්‍රභාකරන් ආරම්භක සාමාජිකයකු වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගිවිසුම් අත්සන් කිරීම ඒ අයට අනුව දේශප්‍රේමී ක්‍රියාවක්. එසේ වුවත් තමන්ගේ පියා ආරම්භක සාමාජිකයෙකු වූ එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම් අත්සන් කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්. මේ දෙබිඩි ප්‍රතිපත්තිය අද රටේ ජනතාවට වැටහෙනවා. මේ අනුව අද රටේ ජනතාවට කවුද දේශද්‍රෝහීන් කවුද දේශප්‍රේමීන් කියා පැහැදිලිව තීරණය කළ හැකියි.

    එක්සත් ජාතික පාක්‍ෂිකයා ලෙස අපි මේ කරුණු පැහැදිලිවම රටට ප්‍රකාශ කරමු. මන්ද අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්. ඒ නිසා යළිත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අප සියලු දෙනාම ඇප කැප වෙමු.

    එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ ඉදිරියට යන්න සිතන අයගේ පක්‍ෂයයි. අප ඇප කැපවී සිටින්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රකාශ කළ පරිදි නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි. විදේශ ආධිපත්‍යයෙන් නිදහස ලබා ගැනීම, අවිද්‍යාවෙන් නිදහස ලබා ගැනීම, අග හිඟ කම්වලින් නිදහස ලබා ගැනීම, විරැකියාවෙන් නිදහස ලබා ගැනීම, ලෙඩ රෝගවලින් නිදහස ලබා ගැනීම හා අලුත් රටක් හදා ගැනීම තමයි අදත් අපේ පරමාර්ථය වී තිබෙන්නේ. එය අපට තනිව කළ හැකි වුවත් අප උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වී මේ කටයුත්ත කිරීමටයි.

    2014 දෙසැම්බර් මාසයේදී පැවැති අපේ මහා සම්මේලනයේදී වැදගත් තීන්දුවක් අරගත්තා. එනම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පොදු අපේක්‍ෂකයා බවට පත් කොට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමයි. පාක්‍ෂිකයාගේ අනුමැතිය මත අප මේ කළේ එදා රටේ නැති වෙමින් ගිය ප්‍රජාතන්ත්‍රවාදය රැක ගෙන පවුල් පාලනය නැති කිරීමටයි. ඒ සමගම රටේ ව්‍යාප්තව තිබූ දූෂණය, වංචාව නැති කොට රාජපක්‍ෂ රෙජිමයෙන් රට බේරා ගන්නටයි. ඒ උත්සාහය සියලු දෙනාගේ එකමුතුකම නිසා අපට ජයග්‍රහණය කරවන්න හැකි වුණා.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අපි සෑදීමෙන් පසුව 2015 පැවැති පක්‍ෂ සම්මේලනයේදීත් මහා මැතිවරණයේදීත් මා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරවලින් තුනෙන් දෙකක බලයක් ලැබුණත් අප පිහිටු වන්නේ සම්මිතවාදී ජාතික ආණ්ඩුවක් බවයි. අපි එසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි නිසයි.
     
    ඒ සඳහා වැදගත් වන්නේ රටේ තුනෙන් දෙකක් එකතු කර ගැනීමයි. තනියම රට හදන කාලය දැන් අවසානයි. 2010 උදාවූ ඒ අවස්ථාවෙන් එවකට සිටි පාලකයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. නමුත් 2015 දී අපේ ඒ ප්‍රතිපත්තියට රටේ බහුතරයක් ලබා දුන් සහයෝගයට මා ස්තූති වන්ත වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් මේ ආණ්ඩුව පිහිටුවා ගන්න අපට හැකි වුණා.

    සියලු දෙනා එකතු වූ මේ අවස්ථාවේ අපට කිරීමට ඇත්තේ රට ඉදිරියට ගෙන යෑමයි. රට ඉදිරියට ගෙන යන අතර, මා පාක්‍ෂිකයින්ට එක් කරුණක් සිහිපත් කළ යුතුයි. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ඇප කැපවූ සියලු දෙනාටම මා ප්‍රකාශ කරන්නේ ඔබ අප අමතක කර නැති බවයි.

    දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටු කිරීම ලබන වසරේ සිට අපි ආරම්භ කරනවා. අපි එක්සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන්ට කියන්නේ මේ කාරණයන්ට මූලිකත්වයදී කටයුතු කරන ලෙසයි. එක්සත් ජාතික පාක්‍ෂිකයින් නොවන ඇමැතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ කාරණය දෙස සානුකම්පිතව බලන ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මා හට දැනුම් දී ඇත්තේ පක්‍ෂයේ ඇති මේ ප්‍රශ්නය හැකි ඉක්මනින් විසඳන ලෙසයි.

    අපි ගෙවුණු වසරක කාලය ගත කරනු ලැබූවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. ඒ තුළින් රටේ අනාගතයත් ඇති කිරීමට අපට අවශ්‍ය වුණා. මේ ගත් ආරම්භයත් සමග 2020 වන විට රාජපක්‍ෂවරු රටේ ඇති කර තිබූ ණය බරින් අපි රට නිදහස් කර ගන්නවා. අපි මේ ගත් පියවරයන් හේතුවෙන් අනාගත පරම්පරාවට රාජපක්‍ෂවරුන්ගේ ණය ගෙවීමට සිදු වන්නේ නැහැ.
    අපි සියලු දෙනා එකතු වී වේගයෙන් රට ඉදිරියට ගෙන නොගියහොත් කාටවත් පවතින තත්ත්වයෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. බෙදී වෙන්වී ඒ ගමන යා හැකි දැයි මෙයට විරුද්ධ වන සියලු දෙනාගෙන් මා ප්‍රශ්න කරනවා. අපි පළමු වරට දේශපාලන විසඳුමක් කරා ගමන් කරමින් සිටිනවා.

    ඒ වගේම රටේ සියලු දෙනා වෙනුවෙන් අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරමින් සිටිනවා. නමුත් මේ ව්‍යවස්ථාව ගැන තාම ස්ථිර තීරණයකට පැමිණ නැහැ. ඒ ගැන සාකච්ඡා කිරීමක් පමණයි මේ වන විට තිබෙන්නේ. මුලින්ම අපි කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වාර්ථාවක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම පමණයි.

    ජාතික සමගිය ඇති කිරීමේ අවශ්‍යතාව අද අප ඉදිරිපිට තිබෙනවා. අප සියලු පක්‍ෂ එකතු නොවුණොත් මෙය කරන්න පහසු කාරණයක් නොවේ. මන්ද එක පක්‍ෂයක් අනෙක් පක්‍ෂයේ ක්‍රියාදාමයට විරුද්ධ වන නිසයි. මේ ක්‍රියාදාමය සාර්ථක කර ගත හොත් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කළා වනවා.

    රටේ සංවර්ධන කටයුතු කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීම් මධ්‍යයේ සිදු වෙමින් පවතිනවා. රටේ තරුණ තරුණියන්ට අනාගතයක් උදාකරමින් රටේ ආර්ථිකය දියුණු කිරීම අපේ අරමුණයි. ඒ යටතේ රැකියා දස ලක්‍ෂයේ ඉලක්කය සපුරා ගනිමින් රටේ මධ්‍යම පන්තිය ශක්තිමත් කිරීම මෙයින් සිදු වෙනවා.

    මහනුවර, වයඹසහ බස්නාහිර පළාත මෙන්ම දකුණ, හම්බන්තොට, මොණරාගල යන ප්‍රදේශත් එකතු කරගත් සංවර්ධන කලාපයක් බිහි කිරීම මේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක්. කර්මාන්ත සේම සංචාරක ව්‍යාපාරය ද වයඹට ගෙන එද්දී බස්නාහිර පළාත මහා නගරයක් බවට නැති නම් බස්නාහිර පළාත ආසියාවේ විශාලම නගරය බවට පත් වෙනවා. ගාලු දිස්ත්‍රික්කයේ සංචාරක සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා. හම්බන්තොට, මොණරාගල ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කරමින් අලූත් ආර්ථිකයක් ඒ ප්‍රදේශවලට ගෙන එනවා.
     
    ජනාධිපතිතුමා රජරට දියුණු කරද්දී ත්‍රිකුණාමලය සංචාරක ව්‍යාපාරය යටතේ දියුණුවට පත් වනවා. මේ සැලසුම අනුව ඉතිරි වූ උතුරු පළාත නඟාසිටුවීමේ සාකච්ඡාවක් අපි ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල එක ආණ්ඩු කාලයක් තුළ ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ප්‍රධාන පක්‍ෂ දෙක එකට සිටින නිසා මේ සියල්ල කිරීමේ ශක්තිය අපට තිබෙනවා. රට ඉදිරියට ගෙන යන මේ වැඩපිළිවෙළේදී ප්‍රශ්න තිබෙනවා නම් අපට සාකච්ඡා කොට එය විසඳාගත හැකියි.

    රටේ 52% ක් වූ කාන්තාවන්ට එල්ල වන පීඩනය මඟහරවා ඔවුන් ශක්තිමත් කිරීමට අප වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ පළාත් පාලන ඡන්දයේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට අප කටයුතු කළා. සෑම දරුවෙකුටම අවුරුදු 13 ක අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්ය කිරීමේ වැඩසටහනක් 2017- 2018 වෙද්දී සාර්ථක වන බව අපට විශ්වාසයි.

    රටේ සෑම විද්‍යාලයකටම විද්‍යා ගුරුවරු ලබා දෙන්න අප කටයුතු කරනවා. ඒ අනුව විද්‍යාගාර නැති පාසල්වලත් විද්‍යාගාර ආරම්භ කරනවා. අවුරුදු 13 ක අනිවාර්ය අධ්‍යාපනයෙන් පසුව හොඳ රැකියා ලබා ගැනීමේ පුහුණුවක් නිර්මාණය කරනවා. මේ සියල්ල අපට පහසුවෙන් කළ හැකි වී තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවක් රටේ බිහිවී ඇති නිසයි.
    නිවාස ප්‍රශ්නයේදී උතුරේ අවතැන් වූ ජනතාවට නිවාස ලබාදිය යුතුයි. වතුකරයේ බිම් අගලක් නැති ජනතාවට නිවාස ලබාදිය යුතුයි.

    නගරයේ පැල්පත්වල සිටින ජනතාවට හොඳ නිවාස ලබාදී නගරයද දියුණු කළ යුතුයි. ග්‍රාමීය ජනතාවගේ මෙන්ම මධ්‍යම පාන්තිකයාගේ නිවාස ප්‍රශ්නයටත් උපකාර කළ යුතුයි. ලබන ජනවාරි මාසයේ සිට නිවාස ලක්‍ෂ 5ක් ඉදිකිරීමේ වැඩ සටහන අපි ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් ලබාදෙන්න මුදල් ඇමැතිතුමා සහතික වුණා.

    මීට අමතරව නිවාස ඇමැතිතුමා මධ්‍යම පන්තියට නිවාස ලබාදීමේ වැඩසටහන ගැන, දිගම්බරන් ඇමැතිතුමා, චම්පික ඇමැතිතුමාත්, ස්වාමිනාදන් ඇමැතිතුමාත් ඔවුන්ගේ ප්‍රදේශවලට අදාළව නිවාස ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා කරමින් සිටිනවා. රටේ බැංකු තුනක් එකට එක් කර නිවාස බැංකුවක් ඉදිකර නිවාස ඉදිකිරීම සඳහා ජනතාවට සහන ණය ක්‍රමයක් ඇති කිරීමේ වැඩසටහනකුත් ඉදිරියේදී ආරම්භ කරනවා.

    මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ජාතික ආණ්ඩුවට සහය ලබාදීම මේ ජාතික ආණ්ඩුවේ වගකීමයි. එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට මා මතක් කරන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා එදා මුල්ම ඡන්දයට ගියේ බලසම්පන්න ජනතාවක් ඇති රටක් බිහි කිරීමටයි. එතුමාගේ ඒ අදහස අද අපටත් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව උදාවී තිබෙනවා.
    මා එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට කියන්නේ අපි හැම දෙනා සමගම එක්වෙමු. පැරණි මතවාද දුරු කරමු. ජුරාසික් මතවාදවලින් ඉවත් වෙමු. නවීන ලෝකයට ගැලපෙන මතවාදයන්ගෙන් සන්නද්ධවී ඉදිරියට යමු. මේ වගකීම් දරන්න අපි එඩිතරව වෙමු. ඒ අභියෝගය ජයගන්න වෙහෙස වෙමු. සියලු ජාතීන් සමගියෙන් වාසය කරන බලවත් ශ්‍රී ලංකාවක් සඳහා නායකත්වය දෙමු. ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීම වෙනුවෙන් වඩාත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කරමු. ආර්ථික හා සමාජීය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලංකාවක් බිහි කරමු. එමගින් හොඳ රටක් මෙන්ම සමගි සම්පන්න ජාතියක් බිහි කිරීම 70 වෙනි සංවත්සරයේ අපේ ප්‍රතිඥාව බවට පත් කර ගමු කියලායි." 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya