ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2017 අයවැය නොවැ: 10දා පාර්ලිමේන්තුවට Featured

    සැප්තැම්බර් 14, 2016
    2017 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් 10දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    මෙවර අයවැය යෝජනාව රාජ්‍ය සේවකයින්ට මෙන් ම රටට ද ඉතාම වැදගත් වන බවත් සියලු දෙනාම අයවැය යෝජනා ඉදිරිපත් කරන තුරු බලා සිටින බවත් අමාත්‍යවරයා කීය.
     
    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) කළුතර ක‍්‍රීඩාංගණයේ පැවැති කළුතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය සේවා ක‍්‍රීඩා උත්සවයට සහභාගි වෙමිනි. 
     
     
    "අපි පිළිගන්නවා දියුණු රටක මෙන් රාජ්‍ය සේවකයින්ට ලැබෙන වැටුප් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන බව. එම නිසා රට දියුණු කළ යුතුයි. ඉන් පසු රාජ්‍ය සේවකයින්ගේ වැටුපත් වැඩි කිරීමට හැකියාවක් ඇති වෙනවා. ජනවාරි 08න් පසු රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබාදුන්නා. ඉන් 2500ක් වැටුපට එකතු කර තිබෙනවා. තවත් වරප‍්‍රසාද ලබාදී තිබෙනවා" යැයි ද කීය.
     
    වැට් බදු පනත ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සම්මත කළ බවත් තිබුණු වැට් බදු පනතට වඩා ජනතාවට අවම පීඩනයක් ලබාදෙන වැට් බදු පනතක් මෙවර සම්මත කරනු ලැබූ බවත් පෙන්වාදුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම වැට් බදු පනත ඉදිරිපත් කළ පසු පීඩනයක් නොමැති වැට් බද්දක් ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව තමන් මෙන් ම, චම්පික රණවක, සරත් අමුණුගම අමාත්‍යවරුන් දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ බවත් පැවසීය.
     
    "එමෙන්ම රජය විසින් විවිධ බැංකුවලින් ණය ලබාගන්නවා. රාජ්‍ය අයවැය හිඟය පිළිබඳ ව දත්ත හා සංඛ්‍යාලේඛන ඉතා වැදගත් වෙනවා. පසුගිය රජය රාජ්‍ය ණය ලබාගෙන තිබුණේ මහා භාණ්ඩාරගාරය හරහා නොවෙයි. රජයේ බැංකු හරහා ණය ලබාගෙන තිබුණා වෙනත් ක‍්‍රමවලට. එම නිසා ලංකා රජය විසින් ගෙවිය යුතු ණය ප‍්‍රමාණය  ට්‍රිලියන 1.3 ක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් එම ගිණුම් පිළිබඳව සොයා බැලුවා. එහිදී අනාවරණය වුණා ට්‍රිලියන 1.3ක් ශ‍්‍රී ලංකා ජනරජය ණය ගෙවීමට තිබෙන බව. එම නිසා තමයි මෙම වැට් බදු ප‍්‍රශ්නය මතු වුණේ. මෙම වැට් බදු ප‍්‍රශ්නය තාවකාලිකයි. ලෝක බැංකුව විසින් මෙම ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 4.5ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා". 
     
    වැට් බද්ද අය කරනු ලබන්නේ මාස 09ක පමණ කාලයක් සඳහා පමණක් බවත් මාස 09 කට පසු වැට් බදු සරල කොට ජනතාවට සහන ලබාදීමට කටයුතු කරනු ලබනබව පෙන්වා දුන් ඒ මහතා සියලු ප‍්‍රශ්න තිබිය දී ජනතාවට සහන ලබාදීමට මෙවරත් රජය කටයුතු කරනු ලබන බවත් දරුවන් වෙනුවෙන් මෙන් ම මනා රාජ්‍ය සේවයක් සඳහා වැදගත් වන්නා වූ යෝජනා ඉදිරිපත් කරන බවත් පෙන්වා දුනි. 
     
    මෙහිදී 2015 වසරේ සාක් ක‍්‍රීඩා උළෙලට සහභාගි වී පදක්කම් ලැබූ කළුතර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 08 දෙනෙකුට සම්මාන පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය. 
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, කළුතර මහ දිසාපති යු.ඩි.සී ජයලාල්, කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය සේවා නිලධාරින් රැසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya