ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක ගමන් මඟකට අවතීරණ වී තිබෙනවා- නවසීලන්ත අගමැති Featured

    ඔක්තෝබර් 02, 2016

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතුළුව ජාතික සංහිදියා වැඩපිළිවෙළ නවසීලන්තයේ ඇගැයීමට ලක්වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඔස්සේ සාමකාමී සංවර්ධිත රාජ්‍යයක් කරා නිවැරදි ගමන් මගකට අවතීර්ණ වී ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පැවසීය.

    නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ ඊයේ (01) පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ජනමාධ්‍ය අමතා ජෝන් කී මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කෘෂිකර්ම, සත්ත්ව ගොවිපොල, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක පමණක් නොව රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදීමට නවසීලන්තය කටයුතු කරන බවය.

    කලාපීය හා ජාත්‍යන්තර සංසඳවලදී ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ක්‍රියාශීලී දායකත්වය අගය කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරට අතර එළැඹෙන එකඟතා සහ ගිවිසුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම දෙපාර්ශවයේම අභිප්‍රාය බව ද පැවසීය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයේ විවිධ රටවල් සමඟ ද්විපාර්ශවික ගිවිසුම් වලට එළැඹිම රටක සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වන බවය. එවැනි ගිවිසුම් සියයට සියයක්ම ක්‍රියාත්මක කරලීමෙන් අදාළ පාර්ශවයන් දෙකටම ජයග්‍රාහී ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක්‍රියාත්මක වන මිශ්‍ර අනුපාත ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති නිසා, එම ක්‍රමය පිළිබඳව ශ්‍රී ලාංකේය ව්‍යවස්ථා සම්පාදකයින් දැනුවත් කරලීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද දෙරටේ අග්‍රාමාත්‍යවරු පෙන්වා දුන්හ. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නවසීලන්තයට පැමිණ අධ්‍යයන චාරිකාවක යෙදීමේ අවකාශය සැලසෙන අතර, නවසීලන්ත මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවට පැමිණ වැඩ මුළු කීපයක් සංවිධානය කිරීමට ද කටයුතු කරනු ඇත.
    දේශීය වෘක්‍ෂලතා ආරක්‍ෂා කරලීම සහ වන සත්ත්ව සුබසාධනය හා සංරක්‍ෂණය සම්බන්ධව නවසීලන්තයේ විශේෂඥ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙහිදී නවසීලන්ත මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ ඈත අතීතයේ දකුණු ඉන්දීය කලාපයේ සිට මැද පෙරදිග දක්වාම රටවලට ආහාර සැපයීමේ කේන්ද්‍රස්ථානය වූයේ ශ්‍රී ලංකාව බවය. ඒ නිසාම ශ්‍රී ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලත් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 2050 වන විට පෙර කී රටවල ජනගහණයෙන් වැඩි පිරිසකට අවශ්‍ය ආහාර හා සේවා ලබා දීමේ කලාපීය මෙහෙයුමෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වී යළිත් අතීත අභිමානය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කැපවී කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya