ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් Featured

    ජූනි 03, 2017

    මහපොළොව රුධිරයෙන් තෙත් කළ දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

    කුමන විවේචන හමුවේ වුවද වත්මන් රජය කැපවී සිටින්නේ එවන් අභාග්‍ය සම්පන්න කාලපරිච්ඡේදයක අඳුරු සෙවණැලිවලින් රටත්, ජනතාවත් ගලවා ගනිමින් සියලු ජනකොටස් සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සාමකාමී දේශයක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අරන්තලා භික්ෂු ඝාතනයට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා අනුස්මරණය කරමින් ඊයේ (02) පස්වරුවේ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ගුණ සමරු උත්සවයට එක් වෙමිනි.

    සියලු ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනඟමින් රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අන්තවාදය සහ බලලෝභය අවසන් කරමින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙළගැසීම අද දවසේ සියලුදෙනා වෙත පැවරී තිබෙන යුග මෙහෙවර බවට පත්ව ඇති බව ද කියා සිටියේය.

    කොටි ත‍්‍රස්තවාදීන් සිදුකළ අමානුෂික ඝාතනයන්හි අවාසනාවන්තම සිදුවීමක් සනිටුහන් කරමින් මීට තිස් වසරකට පෙර එනම් 1987 වසරේ ජූනි 02වනදා අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ වැඩසිටි උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේ 31 නමක් හා අහිංසක නිරායුධ වැසියන් තිදෙනෙකු ත‍්‍රස්තවාදින් විසින් කපා කොටා වෙඩි තබා කෲර ලෙස ඝාතනය කළහ.

    මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නායක හිමිපාණන් වහන්සේගේ ආගමික සහ සමාජයීය මෙහෙවර ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා උන්වහන්සේගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි අනුස්මරණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    අනතුරුව ඝාතනයට ලක්වූ භික්ෂුන් වහන්සේලා සිහිකරමින් ඉදිකර තිබෙන ස්මාරකය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

    විහාරස්ථානයේ සූර්ය බල විදුලි පද්ධතිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    “අරන්තලා සඟවත” සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    මහියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශී‍්‍ර ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ, අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අනෝමා ගමගේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya