ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමි නව ගොඩනැගිල්ල ජනපති අතින් සිසු අයිතියට පැවරේ

    ජනවාරි 27, 2018

    මෙරට දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීමට අලුතින් සැළසුම්කළ පුළුල් වැඩපිළිවෙළකට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    පාසල මෙන්ම නිවස ද දරුවන්ට සුරක්ෂිත විය යුතු අතර වාණිජ සමාජයේ අභියෝග හමුවේ දරුවන් පීඩාවට පත්කිරීමට ඉඩ තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට අද (26) පස්වරුවේ එක්වෙමිනි.

    නිට්ටඹුව සංඝබෝධි මහා විදුහලේ පැවැති බලවත් අවශ්‍යතාවයක් සපුරාලමින් රුපියල් ලක්ෂ 260ක වියදමින් පන්සියකට අධික සිසු දරු දැරියන්ට සිප් සතර හැදෑරීට පහසුකම් සළසමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    ඓතිහාසික අත්තනගල්ල ශී‍්‍ර අරහන්ත රජමහා විහාරාධිපති, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථේරවාදී බෞද්ධ විහාරාධිපති මහෝපාධ්‍යය ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මෙහෙවීමෙන් සහ දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පසුගියදා ආරම්භ කළ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඔස්සේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් දැනටමත් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කර තිබෙන බවයි.

    විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ආචාර්ය පූජ්‍ය පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමිපාණන් වෙත පිළිගන්වන ලද විශේෂ උපහාර තිළිණය මෙහිදී ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

    වැඩමකර සිටි විදේශීය භික්ෂුණීන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූවාය.

    සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල යන මහත්ම මහත්මීන් ද, විදුහල්පති එන්.ඒ. ලක්ෂ්මන් විජේරත්න මහතා ඇතුළු ගුරුවරුන්, දෙමාපියන් සහ ආදි සිසුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya