ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවතා දැමීමට ජනපතිගෙන් උපදෙස්

    මාර්තු 08, 2018

    වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම සඳහා අනුමැතිය ලබාදීම වහාම කි‍්‍රයාත්මකවන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ ආයතන වෙත උපදෙස් දෙයි.

    අත්‍යාවශ්‍යම කටයුත්තක් තිබේනම් ඒ සඳහා අනුගමනය කළයුතු නිසි ක‍්‍රමවේදයක් සකස්කරන ලෙස ද පළාත් සභාව, ප‍්‍රාදේශීය සභාව සහ පොල් සංවර්ධන මණ්ඩලය වෙත එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ ඊයේ (07) පෙරවරුවේ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති කුරුණෑගල දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

    සීමාවකින් තොරව පොල් ඉඩම් කැබලි කිරීම පොල් මිල ගණන් ඉහළ යාමට මෙන්ම පාරිසරික ගැටලු රැසකට හේතුවී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ සියලුදෙනාගේ විශේෂ අවධානය යොමුවිය යුතු බව කියා සිටියේය.

    දිස්ති‍්‍රක්කයේ ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 හි ගම්මාන 4,432 ක ජීවත්වන පවුල් 443,349 ක් වූ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් මෙන්ම දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය සඳහා ගෙන යන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    එහිදී අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, කෘෂිකර්ම, පානීය ජලය, වාරිමාර්ග යන ක්ෂේත‍්‍රවල උන්නතිය වෙනුවෙන් ගෙනයන විශේෂ වැඩසටහන් පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කෙරිණි.

    කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළ පිහිටි කි.මි 836 ක් වන ජාතික මහාමාර්ග පද්ධතියෙන් කි.මි 660 ක් පමණ මේ වන විට කාපට්කර වැඩිදියුණු කර තිබෙන අතර, වැඩිදියුණු කිරීමට ඉතිරිව ඇති ප‍්‍රමාණය කි.මි 176 කි. එම කටයුතු ද කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

    වයඹ ඇළ ව්‍යාපෘතිය, දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය, දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය, මහගල්ගමුව පෝෂිත ඇළ සංවර්ධනය වැනි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.

    එමෙන්ම කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ 1,694,000ක වූ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඉටුකිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය.

    ඒ වෙනුවෙන් කි‍්‍රයාත්මක “විසල් කුරුණෑගල” ජල සම්පාදන ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, මාවතගම, මල්ලවපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් කි‍්‍රයාත්මක ගලගෙදර මාවගතම ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරිම් සියයට 65 ක් මේ වන විට නිමකර තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

    පොල්ගහවෙල, අලව්ව, කුරුණෑගල, මල්ලවපිටිය, වීරඹුගෙදර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් පොල්ගහවෙල පොතුහැර අලව්ව ඒකාබද්ධ ජල යෝජනා ක‍්‍රමයත්, මහව සහ පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දැදුරුඔය ජල සම්පාදන ව්‍යාපෘතියත්, කොටවෙහෙර, ගල්ගම ආවරණය කරමින් ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියත් මේ වන විට ආරම්භ කර තිබේ.

    මෙම ජල යෝජනා ක‍්‍රම කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 100 ක මුදල අදියර දෙකක් යටතේ නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම මේ හා සමගාමීව වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ ද දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වන අතර, දිවයිනේ පළාත් 05 ක වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වැව් 371 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතය. එම වැඩපිළිවෙළව ද සාර්ථකව කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳව ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

    දිස්ති‍්‍රක්කයේ පවතින විශේෂ ගැටලු වන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක ආපදා වැඩසටහන්, වන අලි ගැටලුව විසඳීම වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්. බී. නාවින්න, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, විජිත් විජයමුණි සොයිසා, රවින්ද්‍ර සමරවීර, රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, අශෝක අබේසිංහ, ජේ. සී අලවතුවල, තාරානාත් බස්නායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් සහ පළාත් මැති ඇමතිවරුන් ද, කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya