ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කඩිනම් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

    මැයි 19, 2018

    ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩ වැඩපිළිවෙළක් ලෙස කඩිනමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    අද අප අත්දකින දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම සඳහා වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය වඩා ශක්තිමත් කළයුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ නිලධාරින් සමග  ඊයේ (18) පෙරවරුවේ පැවති හමුවේදීය.

    මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස හදිසියේම අද පෙරවරුවේ එම අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අනතුරුව එම ශ‍්‍රවණාගාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්විය.

    මහවැලි ජනපදිකයින් දිගු කලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ඔවුන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළ වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ කඩිනමින් නිම කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඉන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු ද අධීක්ෂණය කරනු ලැබීය.

    අධිකාරිය විසින් කි‍්‍රයාවට නංවා ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය සොයා බැලු ජනාධිපතිතුමා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳවද නිලධාරින්ගෙන් කරුණු විමසීය.

    ඛනිජ ද්‍රව්‍ය නිස්සාරණ කි‍්‍රයාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර, ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ මේ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියට, මහවැලි අධිකාරියට මෙන්ම භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයට ද සමාන වගකීම් පැවරී ඇති බවයි.

    අදාළ කි‍්‍රයාවලිය සඳහා බලපත් නිකුත් කිරීමේදී ආයතන තුනේම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් එම කටයුතු සිදුකරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිතුමා අදාළ කොන්දේසිවලට යටත්ව කටයුතු කරන බවට සහතිකවීමෙන් අනතුරුව බලපත‍්‍ර නිකුත් කිරීමටත්, මෙම කටයුතු පිළිබඳ අදාළ ආයතන මසකට වරක් රැස්වී සාකච්ඡා කරමින් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

    එමෙන්ම දිස්ති‍්‍රක් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති පරිසර නිලධාරින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මුදාහැරීමට ද ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් දුන්නේය.

    මේ වන විට පරිසර නිලධාරි තනතුරු 89 ක් පමණ පුරප්පාඩුව පවතින බව මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ සඳහා උපාධිධාරින් බදවා ගනිමින් අදාළ පුරප්පාඩු කඩිනමින් පිරිවීමට ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya