ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    “එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රම එළිදැක්වීම ජනපති ප‍්‍රධානත්වයෙන් Featured

    ජූනි 22, 2018

    ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව් පැවති එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනේ ණය යෝජනා ක‍්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝකයේ දියුණු වූ සෑම රාජ්‍යයක්ම ස්වශක්තියෙන් නැගී සිටියේ දේශීය කර්මාන්ත නගාසිටුවීමෙන් බවයි.

    පිටරටින් නවීන දැනුම, තාක්ෂණය සහ උපදේශනය අවශ්‍ය නමුත් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිළිබඳව විශ්වාස තැබිය යුතු බව පැවසු ජනාධිපතිතුමා ව්‍යවසායකයින්ට රජය මගින් ලබාදිය හැකි ඉහළම අතදීම වන්නේ ඔවුන්ට අවශ්‍ය මුල්‍ය සහ මුල්‍ය නොවන පහසුකම් සලසා දීම බව ද කියා සිටියේය.

    එමෙන්ම රාජ්‍ය බැංකු ලාභ ලබන මෙන්ම සේවා සැපයීමේ අරමුණ ඇතිව කි‍්‍රයාත්මක වීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා රාජ්‍ය බැංකු ලබන අසිමිත ලාභයෙන් සියයට පනහක් වාණිජ ගනුදෙනු මෙන්ම සියයට පනහක් සේවා සපයන බැංකු බවට පත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    ව්‍යවසායකයින් වෙනුවෙන් කෙරෙන මෙම ආයෝජන පිළිබඳ නිරන්තර පසුවිපරමකට ලක් කරමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    ශ‍්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප‍්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගීම සඳහා 2018 අයවැය තුළින් රජය එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක‍්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගිත්ව ආයතන සමග ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

    එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන, යෝජනා ක‍්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක‍්‍රම 11 ක්, විදේශ ණ්‍ය ආධාර මත කි‍්‍රයාත්මක වන ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රම 3 ක් හා මූල්‍ය හා මුල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.

    මෙකී සහන ණය යෝජනා ක‍්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන්කර ඇති අතර එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප‍්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000 ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂා කරයි.

    සංකේතාත්මකව ණය පහසුකම් ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya