ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති පවසයි

    ජූනි 19, 2019

    රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැඟී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ එම මානවවාදී මඟපෙන්වීම හේතුවෙන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට (18) පස්වරුවේ එක්වෙමිනි.

    ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ඓතිහාසික මාදන්වල රජමහා විහාරය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා එක් විය.
    අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්වුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වැල්ලගිරියේ සුමංගල නායක ස්වාමින් වහන්සේ සහ දායක සභාව වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර එම සිහිවටන තිළිණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya