ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටේ මැදි ආදායම් උගුල ජයගන්නට නව ආයෝජන සැලැස්මක්

    ඔක්තෝබර් 07, 2014

    ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයකට පිවිස වසර 40ක් ගතවුවද එම කාලයට සමාන්තරව විවෘත ආර්ථික ක්‍රමවේදයට පිවිසි රටවල් හා සංසන්දනයේදී ඒකපුද්ගල ආදායම ඩොලර් 12,000 සීමාව පසුකිරීමට අප අපොහොසත් වී ඇති බවත් මෙම මැදි ආදායම් උගුල ජයගැනීමට නම් දැනුම මත පදනම් වූ නවෝත්පාදන ආර්ථීකයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


    අද වන විට ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන පර්යේෂණ සඳහා ඍජුව ම වසරකට වියදම් කරන මුදල රුපියල් මිලියන 300ක් වන අතර එය රටේ දෛනික සිගරැට් වියදමට සමාන වේ. විනෝදාස්වාදය රජයන ඒ සඳහා ගැතිකම් දක්වන ආර්ථිකයක් බිහිකිරීමෙන් මැදි ආදායම් උගුල ජයගත නොහැකියි. ඒ සඳහා රජය වෙත නව යෝජනාවලියක් තම අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු සකස් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව පර්යේෂණ ක්ෂේත්‍රයන් 10ක් (ජලය, ආහාර, සෞඛ්‍ය, නිවාස, බලශක්තිය, පේෂකර්මාන්තය, ඛනිජ සම්පත්, දැනුම් සේවා, මූලික විද්‍යාවන් හා පරිසරය) මුල් කරගනිමින් සංවර්ධන ආයෝජන සැලැස්මක් සකස් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රධාන අනුබද්ධ ආයතන විසින් පියවර ගෙන ඇත. ඒ සඳහා විද්වත් අදහස් විමසීමක් පසුගිය ජූලි 07 වන දා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණ. මේ සඳහා රටේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා විද්‍යාඥයන් 500 දෙනෙකු සහභාගී වී සිටියහ.

    සම්පාදිත යෝජනාවලිය සහ විද්වත් අදහස් හා යෝජනා සමඟින් පසුගිය මාස දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, තෘතීයික අධ්‍යාපන ආයතන විද්වතුන්, විවිධ වෘත්තීය කණ්ඩායම් හා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අදාළ ක්ෂේත්‍ර 10ක් මූලික කරගත් නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කළේය. මෙම සාකච්ඡා අතර විශේෂ අවධානයක් යොමු වූයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟින් පැවති සාකච්ඡාවයි. එමෙන්ම විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ තානාපතිවරුන් සමඟ මෙම නව යෝජනාව පිළිබඳ ව අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළේය. එම සාකච්ඡා චීන තානාපතිතුමා, ජපාන තානාපතිතුමා, ඇමෙරිකානු තනාපතිනිය, ඉන්දියානු මහ කොමසාරිස් සහ පකිස්තානු මහකොමසාරිස් සමඟ ද පැවැත්විණ.

    මේවන විට නව ආයෝජන සැලැස්ම සඳහා විද්වත් අදහස් හා යෝජනා 1,000කට ආසන්න ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇත. ඒ සියල්ල සැලකිල්ලට ගෙන රටට ගැලපෙන පරිදි මැදි ආදායම් උගුල ජයගත හැකි නව ආයෝජන සැලැස්ම අමාත්‍ය චම්පික රණවක මහතාගේ උපදෙස් මත එළිදැක්වීමට සූදානම් බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    එය අද (07) පෙරවරුවේ කොළඹ, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ A ශ්‍රවණාගාරයේදී විද්වතුන් විද්‍යාඥයින් සහ විවධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් 500කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙහි විශේෂ දේශන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත.

    අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන නව යෝජනාව මහජන සුබසාධනය සහ සම්පත් ප්‍රයෝජ්‍යකරණය යන ප්‍රධාන සාධක දෙක පිළිබඳ ව මූලික අවධානය යොමුකොට සම්පාදනය කරන බව ද ඇමති පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya