ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රජය ලබාදෙන සියලු ම සංවර්ධන යෝජනා ක්‍රම රැකගැනීම මහජනයා සතු වගකීමක්

    ඔක්තෝබර් 13, 2014
     
    රජය ලබාදෙන සියලු ම සංවර්ධන යෝජනා ක්‍රම රැකගැනීම මහජනයා සතු වගකීමක් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.
     
    නගරාසන්නයේ මෙන් ම, ග්‍රාමීය ප්‍රදේශවල විශාල මුදලක් වැය කරමින් සිදු කරන සංවර්ධන යෝජනා ක්‍රම විනාශ වීමට ලක්වීමේ අවදානමක් තිබුණහොත් එය රැකගැනීම මහජනයා සතු යුතුකමක් වන්නේ යැයි අග්‍රාමාත්‍යතුමා කීවේය. 
     
     
    ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම ජනතාව අතින් ම විනාශ වීමේ අවදානමක් පවතින බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ “මග නැඟුමෙන් - ගම නැඟුම” වැඩසටහනේ ප්‍රතිපාදන මත පුස්සැල්ලාව, හැවැන්දෙනිය සහ වටගොඩපතන ගම්මාන යා කරමින් ඉදිකරන ලද නව පාලම ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා ප්‍ර‍කාශ කළේය. 
     
     
    වටගොඩපතන ප්‍රදේශයේ පැවති ජන හමුවේ දී අග්‍රාමාත්‍යතුමා පැවසුවේ, “වර්තමාන රජය සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් විශාල මුදලක් වැය කරමින් සංවර්ධන වැඩසටහන් රැසක් ජනතා අයිතියට පත් කර තිබෙනවා. මේ තරම් විශාල කැප කිරීමකින් යුතු ව සිදු කරන සංවර්ධන යෝජනා ක්‍රම රැක ගැනීම අප සතු වගකීමක් සහ යුතුකමක්. මුරකරුවන් යොදමින් මෙම යෝජනා ක්‍රම රැකගැනීමේ හැකියාවක් මෙන් ම, අවශ්‍යතාවක් ද රජයට නැහැ. නමුත් ජනතාවට මූලික පහසුකම් ලබාදීමේ අපේක්ෂාව ප්‍රධාන අරමුණක් සේ සලකමින් අප රජය ඉදිරියටත් සංවර්ධන යෝජනා ක්‍රම දියත් කරනවා. 
     
     
    නව සංවර්ධන යෝජනා ක්‍රම හමුවේ පැරණි ව්‍යාපෘති විනාශ කිරීමට ඉඩ දිය යුතු නැහැ. විශාල මුදලක් වැයකරමින් ඉදිකරන මාර්ග ඇතැමුන් විසින් විනාශ කරන බව දක්නට ලැබෙනවා. ඔවුන් සිතා මතා නොකළත් විවිධ හේතු මත මෙවැනි සංවර්ධන ක්‍රම විනාශ වීමට ඉඩ දිය යුතු නැහැ. මාර්ගය හරහා වැසි ජලය ගලා යන්නේ නම් එම මාර්ගයට සමාන්තරව කානු පද්ධතියක් සකස් කිරීම ග්‍රාමීය ජනතාවට කළ හැකි කාර්යයක්. එවැනි පහසු ක්‍රම මඟින් විශාල සංවර්ධන යෝජනා ක්‍රම රැකගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 
     
     
    අප රජය පූර්ණ වශයෙන් විශ්වාස කරන්නේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සහනාධාර ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. සහනාධාර ලබා දෙන්නේ ජීවත් වීමට නොව ජීවත් වීම සඳහා සුදුසු ජීවනෝපායක් සකස් කර ගැනී‍ම උදෙසායි. රජයෙන් ලබාදෙන ආධාර සිය ආර්ථික හැකියාව ඉහළ නංවා ගත හැකි ආයෝජනයක් වශයෙන් යොදා ගත යුතුයි. 
     
     
    ඉන්දියාවේ මා කළ සංචාරයක දී එරට වයස් භේදයෙන් තොරව බොහෝ දෙනෙක් ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියා කරනු දැක ගැනීමට ලැබුණා. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ නොවේ. ඇතැම් විට පවුලක සේවය කරන්නේ එක්කෙනයි, නැත්නම් දෙන්නයි.  ඇතැම් විට ගෘහමූලිකයා මත්පැනට ඇබ්බැහි වීම නිසා සමස්ත පවුල ම විනාශ වන අවස්ථා දක්නට ලැබෙනවා. නමුත් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා හැකියාව තිබියදීත් පවුලක්, සමාජයක්, පළාතක්, ජාතියක් විනාශ වීමට ඉඩ දිය යුතු නැහැ. රට ආරක්ෂා කර ගැනීම මෙන්ම, රට ආර්ථික වශයෙන් සවිබල ගන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. 
     
     
    මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීම පරිදි ගම්පොළ ආසනයේ ස්වයංරැකියා ප්‍රවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් වී තිබෙනවා. එම මුදල සෙසු දිස්ත්‍රික්කවලට ලබාදෙන මුදලට වඩා සාපේක්ෂ වශයෙන් විශාල මුදලක් වන බැවින් ගම්පොළ මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවට කෘෂිකාර්මික අංශයට අමතරව වෙනත් ස්වයංරැකියා කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික වශයෙන් දියුණු වීමේ හැකියාවක් ඇතැයි”  අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය. 
     
     
    උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන උදය දිසානායක, මංජුල දිසානායක යන මහත්වරුන් ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.
     
     
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya