ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණය නීතිවිරෝධියි කියූ සටන් පාඨය තවදුරටත් වලංගු ද ? නැද්ද ? - ඇමති සුසිල් ජවිපෙන් විමසයි

    නොවැම්බර් 23, 2014

    ඉදිරි ජනාධිපතිවරණය නීතිවිරෝධි බවට වූ ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨය තවදුරටත් වලංගු වන්නේදැ? යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් විමසා සිටී.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ විමසීම සිදු කළේය.

     

    එය දැන් වලංගු නොවන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදි සන්ධාන ගත වෙනවාද?, තනිව තරග කරනවාද, නොකර ඉන්නේද, එසේ නොමැති නම් වෙනත් තීරණයක් ගන්නේ දැයි යන ප්‍රශ්නවලට සාධාරණ හේතු මේ මොහොතේ ජනතාවට හෙළි කිරීමට සිදුවන බවත් ජවිපේ ලබාදෙන තීරණය අනුව ජනතාව ඔවුන් පිළිබඳ තැබු විශ්වාසය තීන්දු තීරණය කරනු ඇතැයි අමාත්‍යවරයා කීය.


    කුමන අභියෝග ආවත් ඒවාට නොසැලී මුහුණ දෙමින් පක්ෂයේ සිටිමින් පක්ෂය ආරක්ෂා කළ නායකයාට ඡන්දය දෙනවද එසේ නොමැති නම් හතර වටේ යමින් පක්ෂය විනාශ කළ අයට ඡන්දය දෙනවද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට අයිති කාරණයක්. අපි දන්නවා විපක්ෂයෙන් ඉදිරිපත් වෙන පොදු අපේක්ෂකයා කවුද කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලියාපදිංචි කළේ 2004 පෙබරවාරි මාසයේ. එහි ලේකම් මම. තාමත් ඒ ධූරයේ මම ඉන්නවා. වසර 10ක් ගෙවිලා තිබෙනවා. එහි ව්‍යවස්ථාව සකස් කිරීමේදි සියයට පනහට එකක් වැඩි වෙන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහි බලය තිබෙන ආකාරයටයි හදලා තිබෙන්නේ.

     

    මේ ජනාධිපතිවරණය නීතිවිරෝධි කියලා තමයි ජවිපේ කිව්වේ. අපිත් සමඟ එක් ව තරග කරලා පාර්ලිමේන්තු ආසන 38ක් ගත් ජනතා විමුක්ති පෙරමුණට පසුගිය මහ මැතිවරණයෙදි ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ තරග කරලා මනාපවලින් මන්ත්‍රීධූර 02යි ලැබුණේ. අනෙක් කෙනා ජාතික ලැයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට ගියේ. නැවත පළාත් සභා ඡන්දවලින් එක්කෙනා දෙන්නා පත්වුණා. ඌවට ගියාම තිබුණ ගානමයි. දැන් ජවිපෙට තීරණයක් ගන්න වෙනවා තනිව තරග කරලා තිබෙන ඡන්ද සංඛ්‍යාව අනාවරණය කරනවද? කියලා. එහෙම වුනා ම තේරුම් ගත හැකියි ඊළඟ මැතිවරණයේදි ඒ අයගෙන් තේරෙන සංඛ්‍යාව කීයද කියලා. එහෙම නැත්නම් පොදු අපේක්ෂකයකු සමඟ සන්ධාන ගත වෙනවාද? කියලා.  

     

    ජවිපේ 2004 සුනාමියෙන් පස්සේ එවකට හිටපු ජනාධිපතිතුමිය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩලයක් පත්කරන්න සාකච්ඡා කළා ම ඒකට විරෝධය පාලා සන්ධානයෙන් ඉවත් වුණා. ඒ 38 දෙනා ම ඉවත් වුණා. ඉන් පසුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයට සහයෝගය ලබාදුන්නේ ජනාධිපතිවරණයට. අනෙක් පක්ෂය තමයි ජාතික හෙළඋරුමය. ඔවුන් සන්ධානයෙන් ඉවත් වුණෙත් මේ ප්‍රශ්නය නිසා. කොටුවේ අධිආරක්ෂිත කලාපේ පාරේ වාඩි වුණා. එහි නායක ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. එදා අගමැති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වෙලාවේ ඒ උපවාසය නවත්වන්න මැදිහත් වුණා. අද ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත් වෙලා නැහැ. තනතුරුවලින් ඉවත් වෙලා. ඒ අයට විකල්ප කිහිපයක් තියෙනවා. නැවත අපි එක්ක එකතු වෙන්න පුළුවන්, පොදු අපේක්ෂකයකුට සහය දෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් විකල්පයකට යන්න පුළුවන්. මගේ ප්‍රශ්නය එදා සුනාමි මණ්ඩලය හදන්න හදපු හිටපු ජනාධිපතිනිය සමඟ එකතු වෙන්න පුළුවන්ද ?  හිටපු ලේකම් තුමාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොට පිළිතුරු දුන්නේ චන්ද්‍රිකා මහත්මිය. ඩලස් ඇමැතිතුමා කිව්වා මෙගා නාට්‍යයේ අධ්‍යක්ෂණය කරන්නේ එතුමිය. එතකොට මේ නාට්‍යයේ පාර්ශව කරුවෝ වෙනවද කියලා ජනතාවට කියන්න වෙනවා. ටී.එන්.ඒ. එක කොන්දේසි විරහිතව උදව්කරනවා කියලා තිබෙනවා. එතකොට ඒ අයත් එක්ක චරිත රඟපානවද ? ෆොන්සේකා මහත්තයා පොදු අපේක්ෂකයට වෙන දේ කිව්වා. එතුමා අවවාදයක් පවා දුන්නා ඉදිරිපත් වෙන පොදු අපේක්ෂකයාට.

     

    අද තියෙන ප්‍රධාන මාතෘකාව තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා. එතනින් එහාට ගිහින් රනිල් මහත්තයා අගමැති කරනවා. ව්‍යස්ථාව අහෝසි කරලා එතුමා විධායක අගමැති වෙනවා. තව දින දෙක තුනකින් ගිවිසුමකුත් අස්සන් කරනවා කියලා මාධ්‍යවල තිබුණා. එතුමන්ලා ජයග්‍රහණය කරන්නේ නැති නිසා රටට හොඳයි. පුවත් පත්වල තිබුණා මැලේසියාවේ තිබුණ සමුළුවකට එලීලන්ගේ නෝනා සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහභාගි වෙලා තිබුණා. එහිදි තීන්දුවකට ආවා යුද්ධයෙන් බැරි වුණ නිසා බෙදා වෙන්කර ගන්න ඕන කියලා. එදා කොටි බේරගන්න උත්සහ කරපු සියලු ජාත්‍යන්තර බලවේග මෙතන ඉන්නවා. මුදල් සපයනවා.

     

    2001 රනිල් මහත්මයා අගමැති ව සිටිද්දි චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිනිය. එතුමියට තිබුණා විධායක බලතල පාවිච්චි කරලා රනිල් ප්‍රභා ගිවිසුම අහෝසි කරන්න. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවෙලා හිටියා නම් රනිල් අගමැති වුණත් ප්‍රභාකරන් සමඟ ගිවිසුමක් ගහන්න දෙන්නේ නැති විත්තිය ජනතාව දන්නවා.එතුමිය නිහඬව සිටීමෙන් එකඟතාව ලබාදුන්නා. එතකොට ජවිපෙට හා හෙළ උරුමයට පුළුවන්ද එතුමිය අධ්‍යක්ෂණය කරන මේ නාට්‍යයේ චරිත රඟපාන්න.

     

    අපිට එරෙහි ව බලවේගවල වුවමනාව මොකක්ද ? එජාපයට ඕනේ බලය ලබාගන්න. චන්ද්‍රිකා මහත්මියට ඕන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමද ? එතුමියත් උත්සහ කළේ තව අවුරුද්දක් හරි විධායක ජනාධිපති ධූරයේ සිටීමට. එය ගණන් පෙන්නලා වැලැක්කුවේ හිටපු අග විනිසුරු සරත් එන්. ද සිල්වා මහත්මයා. විපක්ෂ නායකතුමා දික්වැල්ලේ ඉඳලා කොළඹට පා ගමනක් ආවා. හෙළ උරුමය අධිකරණයට ගිහින් පෙත්සමක් ඉදිරිපත් කළා. එයට තීන්දුව ලැබුණා. එතකොට එදා තව අවුරුද්දක් හරි විධායකයේ ඉන්න උත්සහ කරපු හිටපු ජනාධිපතිතුමිය අද විධායකය එපා කියනවා. එතුමියගේ අරමුණ ඒක නෙවෙයි. මේ රට ස්ථාවර කළේ වත්මන් ජනාධිපතිතුමා. මේ කෑ ගහන අය වටේ ම ගියා. එතකොට මහින්ද රාපක්ෂ මහත්මයා කිසි ම දවසක මේ පක්ෂයෙන් ගියේ නැහැ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ තීරණය කරන්න ඕන අපි ආරක්ෂා කරගන්න ඕන පක්ෂේ රැකපු අයද ? කඩපු අයද ? කියලා.  

     

    දේශපාලන අස්ථාවර භාවය ඇති වුණොත් රට අස්ථාවර වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. විදේශ බලවේගවලට රටට ඇතුල් වෙන්න ඉඩකඩ ලැබෙනවා. ඉකොනොමිට් සඟරාව කිව්වේ ජනාධිපතිතුමාගේ දේශපාලන ස්ථාවර භාවය නිසයි රට මේ තරම් සෑම අතින්ම දියුණු වෙන්නෙ කියලා. ඒ කාලේ පුනරින් කඳවුර, එලිපන්ට් ෆාස් කඳවුර ඉවරයි. මහ බැංකුව විනාශ වුණා. ආර්ථිකය ඍණ. මේකයි ඉතිහාසය.


    අද පැය විසි හතරෙම විදුලිය දෙනවා. සියයට අසුපහක් පානීය ජලය දීලා තිබෙනවා. සියයට අනූපහකට විදුලිය දීලා තිබෙනවා. සාක්ෂරතාව ඉහළ ගිහින් තිබෙනවා. මේවා තමයි දර්ශක. එහෙම නම් දේශපාලන, ආර්ථික ස්ථාවර කරලා සාමය ගෙනා ජනාධිපතිතුමාට දෙනවාද, පොදු අපේක්ෂකයට ඡන්දය දෙනවාද නැද්ද කියන දේ තීරණය කරන්න වෙන්නේ.

     

    මෙහිදි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, ඩලස් අලහප්පෙරුම මහත්වරු ද අදහස් දැක්වූහ.


    HC/NK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya