ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කැබිනට් මණ්ඩලය අනුමත කළ 19 වෙනි සංශෝධනය සභාවට ඉදිරිපත් කළා

    අප්‍රේල් 09, 2015
    කැබිනට් මණ්ඩලය අනුමත කළ 19 වෙනි සංශෝධනය සභාවට ඉදිරිපත් කර ඇති බවත් මේ රටේ නීති සම්මත කරන ආකාරය පිළිබද ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව කතානායකවරයා විසින් සභාවට ඉදිරිපත් කළ පසු සභාවේ අදහස් දැක්වීම අතරතුර අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කැබිනට් මණ්ඩලය අනුමත කළ ව්‍යස්ථා සංශෝධන අනුවයි. පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ස්ථාවර නියෝග අනුවයි. දෙවැනි වර කියවීමෙන් පසු කාරක සභාවට ගෙනයාමට පුළුවන්. ඉන් පසු ඕනෑම අයෙකුට අධිකරණයට යා හැකියි. එංගලන්තයේ පනත් කෙටුම්පතකට එසේ අභියෝග කළ නොහැකියි. ව්‍යවස්ථා සංශෝධනයකට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කළ හැකියි.
     
    රජිව් විජේසිංහ මහතා කී කරුණු මා පිළිගන්නේ නැහැ. ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇති කරුණු ක්‍රියාත්මක වන්නේ මේ ජනාධිපතිවරයාගෙන් පසුවයි. එජාපයේ සියල්ලම අඟහරුවාදා කැඳවා දැනුවත් කළා. සහභාගි නොවූ අයෙක් සිටියා නම් ඒ පිළිබඳ ව විමසනවා. 
     
    ඒ සියල්ල අවසන් වූ පසු සංශෝධන ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව තිබෙනවා. ඕනෑම කෙටුම්පතකට සංශෝධන ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව තියෙනවා. 2013 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් වූ විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන තීන්දුවක් දෙමින් රජයක් විදේශ වාණිජ ණය, විදේශ බැඳුම්කර ගැනීමට පෙර පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු බව පැවසුවා. නමුත් සංශෝධනයකට පාර්ලිමේන්තුවේ අවසරය අවශ්‍ය නොවේ. මේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න යැයි මා කිව්වා. ඒ අනුවයි ඉදිරිපත් කළේ, එහි පිටපත් පෙත්සම්කරුවන්ට ලැබුණා. අධිකරණයේදී එය සාකච්ඡා වුණා. නීතිඥ ගෝමින් දයාසිරි මහතා කී කරුණු සලකා බලා කාරක සභා අවස්ථාවේ සංශෝධන ගෙන එන බව නීතිපතිවරයා පැවසුවා. ඉදිරිපත් කරන සංශෝධන ගැන ද නීතිපති පැවසුවා. ඔහු ඒ කරුණු ඉදිරිපත් කළ පසු තව කල් ඉල්ලීමට නීතිඥයන්ට අවස්ථාව තිබුණා. නමුත් කවුරුවත් කාලය ඉල්ලුවේ නැහැ. 
     
    අධිකරණයට ඉදිරිපත් නොකර නීතිපති මඟින් එම සංශෝධන මේ සභාවට ලබා ගැනීමට තිබුණා. නමුත් අප එසේ කළේ නැහැ. ජනමත විචාරණයට තුඩු දෙන කිසිවක් ආණ්ඩුක්‍රම සංශෝධනයට ඇතුළත් නොකරන බව අප මැතිවරණ පොරොන්දුවලදී පැවසුවා. එක රැයකින් 18 වෙනි සංශෝධනය ගෙන ආ ඔබ අද පාර්ලිමේන්තුවට බලය දීමට සහ ස්වාධීන කොමිෂන් සභා ගෙන ඒමට විරුද්ධ ද? මැතිවරණ කොමිසම නොමැති ව ඡන්දය පැවැත්වීමට කැමති ද ? සිංහල හා දෙමළ භාෂාවලින් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya