ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිනිසාගේ ආධ්‍යාත්මයේ තිබෙන පිරිහීමට විසඳුම තිබෙන්නේ බෞද්ධ දර්ශනය තුළයි - ජනපති

    මැයි 06, 2015
    නව තාක්ෂණික ලෝකයේ වාණිජ සමාජය තුළ ඇති වන සමාජ පිරිහීම් සඳහා මෙන්ම විශේෂයෙන් තාක්ෂණය කොතෙක් දියුණු වුණත් මිනිසාගේ ආධ්‍යාත්මයේ තිබෙන පිරිහීමට තිබෙන එකම විසඳුම පෙන්නුම් කරන්නේ බෞද්ධ දර්ශනය තුළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. 
     
    ඒ නිසා බෞද්ධ දර්ශනය තුළ සමාජය හැඩගැස්වීම සඳහා බෞද්ධ රටක් වශයෙන් මුළු ලෝක ප‍්‍රජාවගේ සහ සියලු රාජ්‍යයන්ගේ අවධානය යොමු කරමින් නව රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. ඒ සඳහා ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් පුළුල් බෞද්ධාගමික සේවාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ගෞරවනීය මහා සංඝරත්නයේ උපදෙස් සහ අනුශාසනා පරිදි ක‍්‍රියාත්මක කිරීමට අපේකෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. 
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, මේ බව සඳහන් කළේ මහියංගන රජමහා විහාරස්ථානයේ පසුගියදා පැවති රාජ්‍ය වෙසක් උත්සවය අමතමිනි. 
     
    ශාසනික සේවාව ශක්තිමත් කිරීම, ශ‍්‍රී සම්බුද්ධ ශාසනයේ උතුම් වූ පුනර්ජීවනය සේම ඒ තුළ රජය සහ බුද්ධ ශාසනයේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා තුළ තිබිය යුතු සම්බන්ධතාව ශක්තිමත් කිරීමට රජයක් විසින් ශාසනයට කළ යුතු කාර්යයන් නොපිරිහෙලා ඉටුකරන බවට මෙහිදී ජනාධිපතිතුමා සහතික විය.
     
    මෙම කාර්යයන් ඉටුකිරීමේ දී ඇතිවන්නා වූ ප‍්‍රශ්න හා අභියෝග මහා සංඝරත්නය සමග සාකච්ඡා කරමින් උන්වහන්සේලාගේ අනුශාසනා අවවාද සහ මගපෙන්වීම් තුළ නිරාකරණය කිරීම රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 
     
    රජයේ කටයුතු සඳහා ලබා දෙනු ලබන අවවාද, අනුශාසනා සහ ආශිර්වාද පිළිබඳව ජනාධිපතිතුමා මහා සංඝරත්නය වෙත සිය ගෞරව පූර්වක ස්තූතිය මෙහිදී පිරිනැමීය. 
     
    රාජ්‍ය වෙසක් උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවැත් වූ සම්පූර්ණ කතාව මෙසේය. 
     
    අපි මේ රැස්වෙලා ඉන්නේ 2559 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය පවත්වන අවස්ථාව සඳහායි. වසර 2559ක් බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑම කියන තෙමඟුල් උත්සවය පැවතුණා වගේම පැවතගෙන ආවා. ඉදිරියටත් පැවතගෙන යනවා. අද විශේෂත්වය මේ උතුම් අවස්ථාව රාජ්‍ය උත්සවයක් විදිහටයි අපි සමරන්නේ. 
     
    වෙසක් පසළොස්වක පොහෝ දිනය රාජ්‍ය උත්සවයක් විදියට සැමරීමට රජයක් විදිහට ඇයි අදහස් කරන්නේ. ශාසනික සේවාව ශක්තිමත් කිරීමට, ශ‍්‍රී සම්බුද්ධ ශාසනයේ උතුම් වූ පුනර්ජීවනයට, ඒ තුළ රජය සහ බුද්ධ ශාසනයේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා තුළ තිබිය යුතු සම්බන්ධතාව ශක්තිමත් කිරීමට, ඒ තුළ ශාසනික වශයෙන් රජයක් විසින් කළයුතු ශාසනයට කළ යුතු ශ‍්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කළයුතු කාර්යයන් නොපිරිහෙලා ඉටුකිරීමට, බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම සඳහා රජයක් විදියට ගතයුතු සෑම පියවරක්ම ගැනීම.
     
    ඒ වගේම මෙම කාර්යයන් ඉටුකිරීමේදී සිදුවන්නා වූ ගැටලු, ප‍්‍රශ්න, අභියෝග මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරමින් උන්වහන්සේලාගේ අනුශාසනා අවවාද සහ මගපෙන්වීම් තුළ රජයක් විදියට නිරාකරණය කර ඒවා ඉටුකිරීම වැනි උතුම් කාර්යයන් රාශියක් සඳහායි රාජ්‍ය වෙසක් උත්සවයක් පවත්වනු ලබන්නේ.
     
    රාජ්‍ය වෙසක් උත්සවයක අරමුණ, පරමාර්ථය ඉෂ්ට කරගැනීම සඳහා අපි සැමවිටම කටයුතු කිරීම අවශ්‍යයි. අපේ මේ බෞද්ධ රටේ විශේෂයෙන්ම ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මහා නායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ සියලු අංශවල මගපෙන්වීම අපට ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා. මෙහිදී ස්වාමීන් වහන්සේලා කිහිපනමක් අනුශාසනා කතා කිහිපයක් පවත්වනු ලැබුවා. ඒ අනුශාසනා තුළ කරුණු කිහිපයක් උන් වහන්සේලා ප‍්‍රකාශ කළා. ඒ ඉදිරිපත් කළ කරුණු,
     
    ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් ගරු කරු ජයසුරිය අමාත්‍යතුමාගේ කතාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. උන්වහන්සේලා ඉදිරිපත් කරන ලද කරුණු ඉතාමත්ම වැදගත් වූ කරුණු වශයෙන් අපි කවුරුත් පිළිගන්නවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා අප විසින් ගත හැකි ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම අපි ගනු ලබනවා. 
     
    මේ නව තාක්ෂණික ලෝකයේ වාණිජ්‍ය සමාජය තුළ ඇති වන සමාජ පිරිහීම් සඳහා විශේෂයෙන් තාක්ෂණය කොතෙක් දියුණු වුණත් මිනිසාගේ ආධ්‍යාත්මයේ තිබෙන පිරිහීමට තිබෙන එකම විසඳුම පෙන්නුම් කරන්නේ බෞද්ධ දර්ශනය තුළයි. ඒ නිසා බෞද්ධ දර්ශනය තුළ සමාජය හැඩගැස්වීම සඳහා අපේ රටේ පමණක් නොවෙයි බෞද්ධ රටක් වශයෙන් මුළු ලෝක ප‍්‍රජාවගේ සහ සියලු රාජ්‍යයන්ගේ අවධානය යොමු කරමින් නව රජය විදිහට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පුළුල් බෞද්ධාගමික සේවාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ගෞරවනීය මහා සංඝරත්නයේ උපදෙස් සහ අනුශාසනා පරිදි ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 
     
    පසුගිය දිනක බුදුන් වහන්සේ උපත ලැබු නේපාලයේ සිදු වූ මහා ඛේදවාචකය අපි දන්නවා. ඒ තුළ අපි බොහෝ දේ උගත යුතු වෙනවා. අපිට දැන් ගන්නට ලැබුණා නේපාලයේ ඒ මහා ඛේදවාචකය සිදුවීමට පෙර සතුන් ලක්ෂ ගණනකගේ ජීවිත හානි කරලා මහා සත්ත්ව ඝාතනයක් සිදුකරමින් පුජාවක් පවත්වලා තිබුණා. මෙවැනි සිදුවීම්වලින් අපිට බෞද්ධ දර්ශනය තුළ අපේ ගෞරවනීය මහා සංඝරත්නය බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ මගපෙන්වීම් තුළින් සමාජයට පෙන්වා දෙන ලද බොහෝ ආදර්ශයන් රාශියත් තියෙනවා. මගපෙන්වීම් රාශියක් තිබෙනවා. ඒ නිසා අපි සැමවිටම මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට අරගෙන රටක් විදිහට සමාජයක් විදිහට කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා.
     
    අද තාක්ෂණික ලෝකයේ සහ වාණිජ්‍ය සමාජයේ නව පරපුරට බෞද්ධ දර්ශනය පිළිබඳව දැනුම සහ අවබෝධය ලබාදීමේදී එක් පැත්තකින් දහම් පාසල ශක්තිමත් කිරීම අවශ්‍යයයි. ශාසනික සේවාව තුළ භික්ෂූන් වහන්සේලා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම, වර්ධනය ඇති කිරීම සඳහා පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීම අවශ්‍යයයි. පිරිවෙන් අධ්‍යාපනයට දිය යුතු සම්පත් වරප‍්‍රසාද සම්පත් වඩ වඩා ලබාදීම අවශ්‍යයයි. ඒවගේම වෙහෙර විහාර සංරක්ෂණය, පුදබිම් ආරක්ෂා කිරීමත් ප‍්‍රමුඛත්වයක් දීම අවශ්‍යයයි. 
     
    අපේ රටේ තිබෙන දස දහස් සංඛ්‍යාත වෙහෙර විහාර සංරක්ෂණය කිරීමේදී බොහෝ අඩුපාඩුකම් තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින සේවක සංඛ්‍යාව වගේම සම්පත්වල හිඟකම නිසා මේ සංරක්ෂණ කටයුතුවලදී බොහෝ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා නව රජය විදිහට ගෞරවනීය මහා නායක හාමුදුරුවනේ, අනුනායක හාමුදුරුවනේ අපි බලාපොරොත්තු වෙනවා අපේ බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මීට වඩා භෞතික සම්පත් සහ මානව සම්පත් වඩ වඩා ලබාදීලා ඒවා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ ගැනීමට. 
     
    අපි දීඝවාපිය ඓතිහාසික මහා පුදබිමට ගියා. ඓතිහාසික මහා මහියංගන රාජමහා විහාරයේ මේ මහා චෛත්‍ය අබියසයි අපි සිටින්නේ. අපේ නායක හාමුදුරුවනේ මම ජනාධිපතිවරයා විදිහට පත් වෙලා මාස 03ක් ඇතුළත මහිංයගන පුදබිමට මා පැමිණි සිව්වෙනි අවස්ථාව බව සතුටින් කියන්නට  ඕනෑ. විශේෂයෙන් බෞද්ධාගමික කටයුතුවල සංවර්ධනය, පුනර්ජීවනය සඳහා අපි රජයක් විදිහට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ප‍්‍රකාශ කරන්නට ඕනෑ. 
     
    වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ අපි ධර්මදේශනය යොදා ගෙන තිබුණේ දීඝවාපී රජමහා විහාරයේදියි. නැගෙනහිර පළාතේ පළාත් සභාවේ විපක්ෂ නායක දයා ගමගේ මැතිතුමා, බුද්ධශාසන අමාත්‍ය කරූ ජයසූරිය මැතිතුමා ඇතුළු අපි සියලු දෙනා තීරණයක් ගත්තා දීඝවාපිය චෛත්‍ය සංරක්ෂණය, ගොඩනැගීම ඇතුළු කටයුතු මේ වර්ෂයේදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නට. 
     
    මේ වාගේ ශාසනික සේවාව උතුම් කොට සලකමින්, ඒ මග යමින් බෞද්ධ සමාජය ශක්තිමත් කරමින්, සංඝයා වහන්සේලාට අවශ්‍ය පහසුකම් වගේම උන්වහන්සේලාට තිබෙන්නා වූ අපහසුතාවන් මගහරවා ගෙන ඒ සඳහා ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගනිමින් අපේ උතුම් බෞද්ධ රට ලෝකයේ යහ ගුණ දහම්වලින් හෙබි සමාජයක් බවට රටක් බවට පත් කිරීමටත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් විදිහට ගොඩනගන්නටත් ඒවගේම ගෞරවනීය මහා සංඝරත්නය මුල් කර ගෙන මුළු මහත් ලෝකය පුරා ලෝක ප‍්‍රජාවට බෞද්ධ දර්ශනය පිළිබඳ ව හොඳ අවබෝධයක් ලබා දෙමින් ධර්ම ප‍්‍රචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමටත් පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අපි මේ වන විට සැලසුම් කරලා තිබෙනවා. ඉදිරි දිනවලදී ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, බෞද්ධ උපදේශක සභාවන් ශක්තිමත් කරලා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. 
     
    අද දවසේ මේ උතුම් කාර්යයට සහභාගිවීමට ලැබීම ගැන ඉතාමත්ම සතුටු වෙමින් අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා සමඟ වන්දනීය පූජනීය මහා සංඝරත්නය වැඩම කරවමින් අපේ රජයට අපේ ජනතාවට ඔබවහන්සේලාගේ මගපෙන්වීම, ආදර්ශය, නායකත්වය, උපදේශකත්වය, ඒ සියල්ල ඉතා ගරු කොට සලකමින් විශේෂයෙන්ම මහියංගන රාජමහා විහාරාධිපති අනුනායක ස්වාමීන් වහන්සේත් ඒ වාගේම විහාරස්ථානයේ ගෞරවනීය භාරකාර ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබවහන්සේලා රජයක් විදිහට කරනු ලබන අනුශාසනා ආශිර්වාද පිළිබඳ ව අපේ ගෞරව පූර්වක ස්තූතිය ඔබවහන්සේලාට පිරිනමනවා. විශේෂයෙන්ම වෙසක් උළෙල රාජ්‍ය අනුග‍්‍රහයෙන් පැවැත්වීමට බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා සහ එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරීන්, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ඇතුළු අනිකුත් මැති ඇමතිවරුන්, පැමිණ සිටින පින්වත් දෙමව්පියන් සහ දරුවන් ඇතුළු මේ සෑම කෙනෙකුගේම කැපකිරීම, අධිෂ්ඨානශීලීභාවය පිළිබඳ ව ගෞරවනීය ස්තූතිය පුද කරමින් මා සමුගන්නවා. 
     
    තෙරුවන් සරණයි !
     
     
     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya