ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව තරුණ තරුණියන්ට උපරිම සේවයක් සලසන්න

    මැයි 15, 2015

    දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව තරුණ තරුණියන් වෙනුවෙන් උපරිම සේවයක් සලසන්නැයි ජාතික තරුණ සේවා සභාවට තමන් විශේෂයෙන් උපදෙස් දී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    එහෙත් පසුගිය යුගයේ එවැනි තත්ත්වයක් මේ රටේ නොතිබූ අතර ජාතික තරුණ සේවා සභාව පැවැති ආණ්ඩුව යටතේ දේශපාලනය දෙස බලා උදව් උපකාර කළේ තරුණ තරුණියන්ගෙන් කොටසකට පමණක් බවත් එහෙත් දේශපාලනය කුමක් වුණත් ජාතික තරුණ සේවා සභාවේ සේවා ලබා ගැනීමට ගමේ මෙන්ම නගරයේ තරුණ තරුණියන්ට අයිතියක් තිබෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14)  සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුව අමතමිනි.

     

    අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

     

    “ තරුණ තරුණියන්ට ජාතික තරුණ සේවා සභාව මගින් සේවය කරන අතර සිය තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩි කර ගනිමින් නවීන ලෝකයට එකතු වීම සඳහා ඒ අයට රජය ලෙස අප නොමිලයේ "වයි-ෆයි" අන්තර්ජාල පහසුකම් ද ලබා දී තිබෙනවා.

     

    මේ සියලූ ක්‍රියාමාර්ග සංවර්ධනයේ කොටසක් වන අතර සංවර්ධනය කියන්නේ සියලූ දෙනාගේම ඇගට දැනෙන සහ සියලූ දෙනාටම වාසියක් අත් වන තත්ත්වයයි. ඒ අනුව තරුණ තරුණියන්ගේ ආදායම් තත්ත්වය නගා සිටුවීමට කටයුතු කරන අප ඒ අයගේ නිදහස ද තහවුරු කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය ක්‍රියාත්මක කරන අතර ගමට සහ නගරයට ඇතුලූ සමස්ථ රටටම පහසුකම් සැලසීමට ද අප ක්‍රියා කරනවා. මේ ක්‍රියාමාර්ග ඔස්සේ නව රැකියා ඇති කරමින් ජනතාවගේ ආදායම් දෙගුණ කිරීමට කටයුතු යොදා තිබෙන තත්ත්වය හමුවේ අපේ ආණ්ඩුව යටතේ නියම සංවර්ධනයක් රටේ ඇති වෙමින් පවතිනවා.

     

    දිවංගත ජනාධිපති ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ 1977 දී එක පැත්තකින් කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කළ අප තවත් පැත්තකින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියුණු කිරීමට කටයුතු කළා. එමෙන්ම රට පුරා නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළ අතර නිවාස යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කළා. රට පුරා මහාමාර්ග ඉදි කළ අතරම ගමේ යෞවන සමාජ සහ පාසල් අලූතින් ඇති කළා.

     

    නමුත් අවාසනාවකට වගේ සංවර්ධනය කියන්නේ ඉදිකිරීම් පමණක් බවට යන මතය ගෙවුණු අවුරුදු 5 ඇතුළත දී මේ රටේ ඇති වී තිබෙනවා. ඉදිකිරීම් කියන්නේ සංවර්ධනයේ කොටසක් වන අතර සංවර්ධනයේ දී අතිශය වැදගත් වන්නේ නව රැකියා බිහි කර ජනතාවගේ ආදායම් මාර්ග දෙගුණ කරමින් තරුණ තරුණියන්ගේ අනාගතය තහවුරු කිරීමයි.


    එක්සත් ජාතික පක්‍ෂය එදා සිටම වැඩ කටයුතු කරන්නේ මේ සෑම අංශයක් වෙතම විශේෂ අවධානය යොමු කරමිනුයි. සිය පාලනය යටතේ ගමේ ක්‍රියාත්මක වූ සංවර්ධනය මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි සංවර්ධනය ගැන කිසිඳු අවබෝධයක් නොමැති ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය චෝදනා කරනවා.

     

    සංවර්ධනය කිසිසේත් අඩාල වී නොමැති අතර ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ එදා පැවැති සංවර්ධන සංකල්ප අපේ ආණ්ඩුව යටතේ සාධනීය ලෙස වෙනස් වී තිබීමයි. ගෙවුණු අවුරුදු පහ ඇතුළත දී රටේ සම්පූර්ණ සංවර්ධනයක් සිදු නොවුණු අතර නව රැකියා නිර්මාණය නොවුණා වගේම ජනතාවගේ ආදායම ද වැඩි වුණේ නැහැ.

     

    කෙසේ නමුත් කිසිඳු ගෙවීමක් නොකර ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය ගෙවුණු අවුරුදු තුන ඇතුළත දී රට පුරා මාර්ග ඉදිකළ අතර මේ මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට පෙර කොන්ත්‍රාත්කරුවා මේ අයට කොමිස් ලබාදිය යුතුයි.


    කොන්ත්‍රාත්කරුවා මේ කොමිස් මුදල ලබා දෙන්නේ මුදලින් වන නිසා ඔහු කරන්නේ ටෙන්ඩරයේ අගය 50% කින් වැඩි කිරීමයි. කොමිස් මුදල ලබාගත්තාට පසුව ව්‍යාපෘතියේ වටිනාකමෙන් කොටසක් කොන්ත්‍රාත්කරුවාට ගෙවා අදාළ ඉදිකිරීම් කරන්නැයි කියා සිටිනවා.

     

    මේ අනුව පුරා අවුරුදු තුනක් මුළුල්ලේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ බිල් ගොඩගැසී තිබුණු අතර මේ බිල් ගෙවන්නේ කෙසේද යන ප්‍රශ්නයට පැවැති ආණ්ඩුව මුහුණ දුන්නා. ජනාධිපතිවරණය කල් ඇතිව පැවැත්වීමට මේ තත්ත්වය ද ඉවහල් වූ බව කිව යුතුයි. ජනාධිපතිවරණය පවත්වා ජය ගෙන ඊට පසුව මහ මැතිවරණය පවත්වා ඒ මැතිවරණය ද ජය ගෙන මේ අය මේ බිල්පත් ගෙවීමට සැලසුම් කර සිටියේ ජනතාව මත ගසා තිබෙන බදු තව තවත් වැඩි කිරීමෙනුයි. ඒ සඳහා විදුලිය ගාස්තු සහ තෙල් මිල ද වැඩි කිරීමට පැවැති ආණ්ඩුව සැලසුම් කර තිබුණු බව කිව යුතුයි.


    එහෙත් ජනාධිපතිවරණයේ දී මේ අය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු අතර ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා සිය ඡන්දය පාවිච්චි කළා. එමෙන්ම අප මේ වැඩ කටයුතු කළේ එක දේශපාලන පක්‍ෂයක සහයෝගයෙන් පමණක් නොව, දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන ඇතුලූ සමාජ බලවේග ගණනාවක් එකට එකතු වීමෙනුයි.

     

    ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රටේ ඉතිරි වී තිබූ මුදල් ප්‍රමාණයෙන් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නය අපට ඇති වුණා. එම නිසා තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කර ගත යුතු යැයි තීරණය කළ අප ඒ අනුව අලූත් අයවැය යෝජනාවලියක් ද ඉදිරිපත් කළා. එම අලූත් අයවැය යෝජනාවලිය මගින් මුලින්ම මුදල් යෙදවූයේ ජනතාව දරා සිටින ජීවන වියදමට සහනයක් ලබා දීම සඳහායි.

     

    ප්‍රථමයෙන්ම තෙල් මිල අඩු කළ නිසා අපේ ආදායම අඩු වුණත් ජනතාව ගැන තව තවත් සිතා සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අඩු කළ අප රජයේ සේවක සේවිකාවන් වෙනුවෙන් රුපියල් 5000 ක දීමනාවක් ද ලබා දුන්නා. එමෙන්ම ගර්භනී මාතාවන්ගේ පෝෂණය සහ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා පෝෂණ දීමනාවක් ලබා දීම ඇතුලූ සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක් අප ආරම්භ කළා. එපමණක් නොව, ජාතික තරුණ සේවා සභාව ඇතුළු රටේ අනෙකුත් අංශවල දියුණුව වෙනුවෙන් විශාල වශයෙන් මුදල් යෙදවීමට ද ක්‍රියා කළා.

     

    මේ ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වූ අතර ජනතාව අතේ තිබූ මුදල් වැඩිපුර පාවිච්චි කළා. වී, රබර් සහ තේ සහතික මිලට මිලදී ගැනීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි 1200 ක් යොදවා තිබෙනවා. එමෙන්ම ධීවරයින් මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටින විට හදිසියේ ජීවිතක්‍ෂයට පත් වුණොත් ඒ අය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 ක වන්දි මුදලක් ඒ අයගේ පවුල්වලට ලබාදීමේ වැඩසටහන ද අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

     

    මේ වැඩ කටයුතු සඳහා මුදල් අවශ්‍ය වූ අතර එම වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරමින් අප සංවර්ධන කටයුතු ද ක්‍රියාත්මක කළා. මුදල් වැඩි වන විට අලෙවිය වැඩි වන අතර අලෙවිය වැඩි වන විට නිෂ්පාදනය වැඩි වනවා. එවිට සියලූ දෙනාගේම ආදායම් තත්ත්වය වැඩි වන අතර මේ ස්වභාවය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේදීත්, වෙසක් සමයේදීත් පැහැදිලිව දුටුවා.

     

    ගෙවුණු අවුරුදු තුන ඇතුළත දී පැවැති ආණ්ඩුව මහා මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගොඩගසා තිබූ බිල් ගෙවන්න ගියා නම් අපට මේ එකම සහනයක්වත් ජනතාවට ලබා දීමට නොහැකි වනවා. ඒ බිල්වලින් කොටසක් ගෙවූ අප අලූත් ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් යෙදෙව්වා.

     

    ග්‍රාමීය මාර්ග ඉදි කර දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව අප "අයි රෝඩ්" ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. පැවැති ආණ්ඩුවේ අවුරුදු තුනක පව් ගෙවීමට අප කටයුතු කළා නම් අපට සිදුවන්නේ ජනතාව මත තව තවත් බර පැටවීමටයි.

     

    උතුරු අධිවේගී මාර්ගය ඇතුලූ රට පුරා මහා මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා සමහර කොන්ත්‍රාත්කරුවන් පැවැති ආණ්ඩුවට කොමිස් මුදල් ද ගෙවා තිබෙනවා. නමුත් මේ මාර්ග ව්‍යාපෘති දෙස අලූතින් අවධානය යොමු කරන අප උතුරු අධිවේගී මාර්ගය සඳහා ජපානයෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරනවා. එවිට ඒ මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීම සඳහා අලූතින් කොන්ත්‍රාත්කරුවන් තේරිය යුතුව තිබෙන අතර කොමිස් මුදල් මත ඒ වැඩ කටයුතු කෙරෙන්නේ නැහැ. එම නිසා ඒ ඒ මාර්ග ව්‍යාපෘති වෙනුවෙන් ආණ්ඩුවට කොමිස් මුදල් ලබා දුන්නත් අදාළ ව්‍යාපෘතිය නොලැබෙන තත්ත්වය හමුවේ සමහර කොන්ත්‍රාත්කරුවන් ද සිර වී සිටිනවා.

     

    රටේ සංවර්ධනය නැවතී ඇතැයි කියමින් කෑගසන්නේ මේ කොමිස් ගත් අය සහ කොමිස් ලබාදුන් අයයි. මේ අය කියන්නේ ඒ අය ලබාගත් කොමිස් වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් දී වැඩ කරන්න කියායි. මේ අය මේ උත්සාහ කරන්නේ අපට කියා පහන් දල්වා ගෙන ඒ අය නිවන් දැකීමට හෝ දිව්‍ය ලෝකයට යන්නයි. අප පහන් දල්වන්නේ මේ අයට දිව්‍ය ලෝකයේ යන්න නොව, රටත් – ජනතාවත් වෙනුවෙන් බව කිව යුතුයි. මේ ප්‍රශ්නය ඒ අය විසදාගත යුත්තේ කොමිස් වශයෙන් ලබාගත් මුදල් යළි ඒ කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීමෙනුයි. එසේ නොකර මාර්ග ඉදිනොකරනවා යැයි කියමින් දේශපාලන වේදිකාවේ කෑ ගහන්න එපා.

     

    කොමිස් මුදල් දුන්නත් අදාළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති නොලැබුණා යැයි කියා ඒ ඒ කොන්ත්‍රාත්කරුවන් කෑගැසුවාට අපට නම් කිරීමට කිසිවක් ඇත්තේ නැහැ. ඒ අය කළ යුත්තේ ඒ ඒ ව්‍යාපෘති වෙනුවෙන් කොමිස් මුදල් දුන් අයගෙන්ම ඒ මුදල් ඉල්ලා ගැනීමයි.

     

    ගමට අවශ්‍ය මාර්ග අලූතින් ඉදිකිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් ලබා දීම ඇතුළු ඒ වැඩ කටයුතු අප කරන්නේ උද්ධමනයක් ඇති නොවන අයුරිනුයි. විශේෂයෙන් තරුණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු විශාල වශයෙන් කිරීමට හැකි වීම ගැන අප සතුටු වන අතර යොවුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් වර්ෂයකට රුපියල් කෝටි 25 ක් යෙදවීමට ද අප කටයුතු යොදා තිබෙනවා. ඒ ප්‍රතිපාදන යොදවන්නේ කෙසේද යන්න පිළිබඳව යොවුන් පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. ඊට අමතරව අනෙකුත් වැඩ කටයුතු සඳහා ජාතික තරුණ සේවා සභාවට අප වෙනම ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු කරනවා. “ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya