ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා ජාතිවාදය ඇදීමට ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ක්‍රියාකරමින් සිටිනවා

    මැයි 26, 2015

    සිය දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සදහා සුපුරුදු පරිදි ජාතිවාදය ඇදීමට ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ක්‍රියාකරමින් සිටින බවත් ජාතිවාදය ඇදීමෙන් නොනැවතී රටේ යම් කාන්තාවක් දූෂණයට ලක් වුණොත් ඒ සිද්ධියෙන්ද දේශපාලනය කරන තත්වයට ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පත් වෙලා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


    රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අවසර දුන් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය කාන්තාවක් දූෂණය වුණාම ඒ සිද්ධිය අල්ලා ගෙන දේශපාලනය කරමින් ඔක්සිජන් ලබා ගැනීමට උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) කොළඹ අරලියගහ මන්දිරයේ දී සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී ය.

     

    යාපනයේ අහිංසක සහ අසරණ ශිෂ්‍යාවක් දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය කිනම් ජාතියකට සහ කිනම් ආගමකට අයිති  වුණත් අප සියලූ දෙනාම තරයේ හෙලා දකින බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ නොකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාධිපති රෙජිමය කියා සිටියේ මේ තත්වය ඇති වූයේ මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති නොවුණ නිසා බවත් ඔහු පවසා සිටියේය.

     

    තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

     

    “යාපනයේ එම ශිෂ්‍යයාව දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්‍ෂ සිය පාලන කාලයේදි කාන්තාවන් 100ක් සහ 200ක් වශයෙන් දූෂණය කර සාද පැවැත්වූ ප්‍රාදේශීය සභා සභාපති වරුන් ඇතුලූ මන්ත්‍රිවරුන්ට එරෙහිව ක්‍රියා කළාද ?

     

    දකුණේ එදා කාන්තාවන් කෙතරම් දූෂණයට ලක් කෙරුණත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ අතර මේ අපරාධවලට විරෝධය පළ කරමින් ජනතාව නැගී සිටියා නම් එම ජනතා විරෝධි සම්පූර්ණයෙන්ම මර්දනය කළා. මේ කාන්තා දූෂණ සහ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධතා මර්දනය කිරීම දකුණට පමණක් සීමා නොවූ අතර උතුරටද එසේම බලපෑවා.

     

    යාපනයේ මේ ශිෂ්‍යාව දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණ විශාල වශයෙන් කම්පා වූ අතර දකුණේ ජනයා කියා සිටියේ කාන්තාවකට සැලකිය යුත්තේ මේ ආකාරයට නොවන බවයි.

     

    එසේ නම් අපේ දේශපාලනය ජාතිය සහ ආගම කුමක් වුණත් යාපනයේ ඇති වූ මේ අමානුෂික සිද්ධිය අප සියලූ දෙනාම තරයේ හෙලා දකිනවා. එහෙත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය දේශපාලන වශයෙන් කෙතරම් බංකොලොත් භාවයට පත්ව සිටිනවා දැයි කිව්වොත් මේ ස්ත්‍රි දූෂණය මාර්ගයෙන් ප්‍රතිවිප්ලවයක් ආරම්භ කිරීමට උත්සාහ කරනවා.

     

    උතුරේ නිදහස තහවුරු වී තිබෙනවා වගේම දකුණේද නිදහස තිබෙන නිසා දකුණේ මෙබදු ස්ත්‍රි දූෂණයක් සහ ඝාතනයක් සිදු වුණා නම් මීට වඩා කලබල සහ කෝලාහල ඇති වනවා. කුඩා ගැහැණු දැරියක දූෂණය කර ඝාතනය කරනවා නම් ඕනෑම ස්ථානයක ගැටුම්කාරි තත්වයක් නිර්මාණය වනවා.

     

    යාපනයේ ශිෂ්‍යාවක දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය හෙලා දකිනවා වෙනුවට ඒ ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ඇතුලූ කණ්ඩායම සමස්ථ කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතුයි.  ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය මේ ආකාරයට ක්‍රියා කරමින් කාන්තාවන්ගෙන් තවදුරටත් ඡන්දය ඉල්ලා සිටින්නේ කෙසේද?

     

    සීමා මායිම් නොමැතිව ජාතිවාදය අදින ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය මේ වන විට ඒ ජාතිවාදයෙන් සිරවී සිටිනවා. මේ අයගේ මේ ක්‍රියාව හරියට ගංජා ගැසු අය ජාතිවාදය අදිනවාට සමාන බව කිව යුතුයි.

     

    මේ අය සිංහල බෞද්ධයින් කියන්නේ කෙසේද? සැබෑ සිංහල බෞද්ධයින් කැසිනෝ සූදු ව්‍යාපාර කරනවාද? එදා කැසිනෝ සූදා ව්‍යාපාරය ආරම්භ කළා නම් මෙවැනි දූෂණ සහ ඝාතන රට පුරාම සිදු වනවා. රටට මත්කුඩු ගෙන එන්න ඉඩ දෙන්නේ කිනම් සිංහල බෞද්ධයා දැයි මම ප්‍රශ්න කරනවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වෙන කාලයේදි සිංහල බෞද්ධයින් නම් නුවර වැව වටා රාත්‍රි කාර් ධාවන තරඟ පවත්වනවාද? ඇත්ත වශයෙන්ම මේ බෞද්ධයෝද? මේ අය සැබෑ සිංහලයෝද? නැහැ.... බලයට තිබෙන කෑදරකම නිසා මේ අය ජාතිය සහ ආගම වුණත් කිසිදු විලි ලැජ්ජාවකින් තොරව විකුණනවා.

     

    එසේ නම් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ මේ ප්‍රතිවිප්ලවය අප වහාම විනාශ කර ඒකාධිපති රෙජිමයට යළි කවදාවත් ඔලූව එසවීමට ඉඩ නොදිය යුතුයි. එකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ ප්‍රතිවිප්ලවය විනාශ කරමින් අප අලූත් දේශපාලන සංස්කෘතියකට සහ පාලනයකට වහාම යා යුතුයි. එසේනම් මේ ප්‍රතිවිප්ලවය පරාජය කරමින් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ ඉතිරි වී තිබෙන කුණු කෑලි ටිකත් සම්පූර්ණයෙන්ම අතු ගා දැමීම සඳහා සියලූ පාර්ශවයන් එකට ඒකරාශි විය යුතුයි.“ යැයි ද කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya