ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැලැක්වීමේ පුළුල් වගකීමක් නාවික හමුදාවට පැවරෙනවා - ජනපති

    ජූනි 29, 2015
    ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටුකරනවා සේම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනීම සඳහා විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී ඇති බවත් මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒම වැලැක්වීම සඳහා දැනට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළට වඩා පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබාදිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ නව සාගරික විද්‍යාපීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28) පෙරවරුවේ එක්වෙමිනි.
     
    විවිධ ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීම ද අද ගැටලුවක් බවට පත්ව ඇති බව පැවසූ ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ ජනතාවගේ දායකත්වයෙන් ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළයුතු බව ප‍්‍රකාශ කළේය.
     
    කිසිදු බේදයකින් තොරව තරාතිරම නොබලා සැමට නීතිය එක සේ කි‍්‍රයාත්මක කරන රජයක් ලෙස වරදකරුවන්ට දඬුවම් ලබාදීමට රජය කිසිදු පැකිළීමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    එමෙන්ම වසර 20ක 22ක සේවා කාලය අවසන් කර අවුරුදු 40ක් 45ක් වැනි තම ජීවිතයේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් වඩා ඵලදායී ලෙස රටට ලබාදිය හැකි කාලයක නාවික හමුදාවෙන් ඉවත්ව යන නිලධාරීන්ට තම කැමැත්ත මත රාජ්‍ය සේවයට ඇතුළත්වීමට අවස්ථාව ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව ද එතුමා මෙහිදී පැවසීය.
    සමරු ඵලකය නිරාවරණය කර නව සාගරික විද්‍යාපීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. සියලු ම පුහුණු පහසුකම්වලින් යුත් ගොඩනැගිලි 10 කින් සමන්විත විද්‍යාපීඨ සංකිර්ණයේ පළමු අදියර මෙදින විවෘත කෙරිණි
     
    මේ අතර කැඩෙට් පුහුණුව සඳහා ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පැමිණ සිටි පාසල් දැරියන් පිරිසක් අතරට ද ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත විය.
     
    අනතුරුව ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ නැව් තටාකාංගනය වෙත පැමිණ එහි අලුත්වැඩියා කරන ලද නෞකාවක් දියත් කිරීමේ අවස්ථාවටද එක් විය.
     
     
    NDH/priu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya