ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වර්තමානයේ මෙන් ම අතීතයේත් අසීරු අවස්ථා ඇති වුණා - ජනපති

    සැප්තැම්බර් 04, 2015
    වර්තමානයේ දී පමණක් නොව පසුගිය දශක කිහිපයක මහ මැතිවරණයන් අවසානයේ අලුත් ආණ්ඩුවක් සඳහා අමාත්‍ය මණ්ඩලයක් තෝරාපත්කර ගැනීමේ දී ඉතා සංකීර්ණ මෙන් ම අසීරු අවස්ථා සඳහා එම පක්ෂයන්ට ද මුහුණ දීමට සිදු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.
     
    විශේෂයෙන් ම තමන් දන්නා පරිදි 1994 සිට 2010 දක්වා පැවැති මහ මැතිවරණවලදී පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල ආසන සංඛ්‍යාවක් හිමිකර ගත්තද, 2010 දී 2/3ක බලයක් ලබා ගත්ත ද පැවැති නායකත්වයට අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ දී ද ගැටලු රාශියක් පැන නැගුනු බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 
     
    එක් දේශපාලන පක්ෂයකට වැඩි බලයක් ලැබුණු අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයක් තෝරාගැනීමේ දී ඇතිවන සංකීර්ණ ස්වභාවය මෙන් ම ගැටලු සහගත තත්ත්වය මෙන් අභියෝග කොතෙක් ද යන්න මතයක් තිබෙන බවත් මේ ආකාරයෙන් ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ඇමැති මණ්ඩලයක් තෝරාපත් කර ගන්නා විට මෙන් ම ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ දී මුහුණ දෙන ගැටලු, සංකීර්ණ ස්වභාවය කොතෙක් ද යන්න කවුරුත් තේරුම් ගැනීම ඉතා ම අවශ්‍ය වන බවත් ජනාධිපතිතුමා කීය.
     
    පසුගිය ජනවාරි 08දා මෙරට ජනතාව ලබාදුන් ජනවරම තුළ ආණ්ඩුවක් සෑදීමේ ප්‍රයත්නයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා  නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දෙන මෙම අවස්ථාවේ දී තමන් ඉතා සතුටට පත්වන බවත් ඒ සඳහා ලබාදුන් සහයෝගයට සෑම දෙනාටම ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    "විශේෂයෙන් ම පසුගිය ගෙවී ගිය මාස 08ක කාල සීමාව තුළ රටේ දේශපාලනයේ නව අත්දැකීම් රාශීයක් තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර පොදු අපේක්ෂකයෙක් වශයෙන් තමන් වෙත සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂවල මෙන් ම සංවිධානවල දරන ලද පරිශ්‍රමයෙන් ලද ජයග්‍රහණය අනුව දින 100ක වැඩපිළිවෙළක් සඳහා තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි විය. එම දින 100 වැඩපිළිවෙළ තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත්කරගෙන කටයුතු කළ තාවකාලික ආණ්ඩුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබුණා. දින 100 ප්‍රධාන අරමුණ වූ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සහ 2015 වසර සඳහා බලපාන්නා වූ අයවැය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. එම මූලික කාර්යයන් ඉටු කරගැනීම මෙන් ම පොදු ජනතාවට බලපාන භාණ්ඩ මිල අඩු කිරීම වැනි වෙනත් පොදු කාර්යයන් රාශියක් ගෙවී ගිය මාස 08ක් තුළ ඉටු කළ හැකි වුණා".
     
    "පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන් ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සඳහා ජාතික රජයක් වශයෙන් කටයුතු කරමු කියන ආරධනය සිදු කළා. එම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය හා කටයුතු කිරීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගත්තා.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දෙපාර්ශවය එක්සත් ජාතික පක්ෂය හා ගිවිසුම් ගත වුණා. ඉන් අනතුරුවයි නව අමාත්‍ය මණ්ඩලය පත් කර ගනු ලැබුවේ". 
     
    "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා අමාත්‍ය ධුර 15ක් මෙන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 18ක් වෙන් කර ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂය හා සන්ධානගත වූ දේශපාලන පක්ෂ අමාත්‍ය ධුර 33ක් ලබාගත්තා. නමුත් පැහැදිලි ලෙසම එම අමාත්‍ය ධුර 33න් එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ අමාත්‍ය ධුර 26ක් පමණයි. අනෙක් සියල්ල ඔවුන් සමඟ සන්ධාන ගත වූ සෙසු පක්ෂවලට බෙදී ගොස් තිබෙනවා". 
     
    අමාත්‍ය ධුර වෙන් කිරීමේ දී යම් යම් ගැටලු මතු වූවත් සෑම කෙනෙක්ම එහිදී ලබාදුන් සහයෝගය පිළිබඳ ව ජනාධිපතිතුමා නැවත වරක් සියලු දෙනාට ස්තූතිය පිරිනැමීය.
     
    දිස්ත්‍රික් සංවර්ධන කටයුතුවල සභාපති ධුර, ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වල සභාපති ධුර, පාර්ලිමේන්තු කාරක සභා මෙන් ම ඊට අනුබද්ධ වූ ආයතනවල සභාපති ධුර වැනි සියලු පත්වීම් කමිටුවක් හරහා සිදු කරන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ප්‍රවර්ධනය කර දූෂණ වංචා නැති රටක් බිහි කිරීම සියලු දෙනාගේ අරමුණ විය යුතු බවත් ඒ සඳහා අධිෂ්ඨානශීලිව සියලු දෙනා කැපවෙමු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
     
     
    cabinat

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya