ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර මහ රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් නව දෙමහල් ගොඩනැගිල්ලක්

    ඔක්තෝබර් 16, 2015
    අනුරාධපුර මහ රෝහලෙන් ප‍්‍රතිකාර ලබන පිළිකා රෝගීන් වෙනුවෙන් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වහාම සැලසුම් කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ඉදිරි සති දෙක තුළ ලබාදීමට තමා කටයුතු කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පෙරවරුවේ උතුරු මැද පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවති අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.
     
    ගල්, පස් හා වැලි කැපීම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය නිකුත් කොට ඇති චක‍්‍රලේඛය පිළිබඳ ව තදින් ක‍්‍රියාත්මක වියයුතු බවත්, එය සියලු ප‍්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු දිස්ත‍්‍රික් පරිපාලන නිලධාරීන්ගේ වගකීමක් බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන්, මිනිසාගෙන් පරිබාහිරව වනයේ ද වන සතුන්ගේ ද ස්වාභාවික පරිසරයේ ද පැවැත්ම තහවුරු වියයුතු අතර ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වීම රජයක වගකීම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    මෙම නව චක‍්‍රලේඛය තුළින් සාමාන්‍ය වැසියෙකුගේ නිවාස වැනි අත්‍යාවශ්‍ය වුවමනාවන් වෙනුවෙන් සීමාවන් පනවා නැති අතර මෙහි මූලික අරමුණ, ජාවාරම් කරන්නන්ට එරෙහිව ක‍්‍රියාත්මක වීම බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    දිස්ත‍්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් ආශ‍්‍රිතව පැණ නැගී ඇති ගැටලුවලට පිළිතුරු සැපයූ ජනාධිපතිතුමා රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභාව යටතේ ඇති සියලු ම ගොවිපොළවල බීජ නිෂ්පාදනය කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව ද එය අවිධිමත් ලෙස සිදුවන්නේ නම් රජයක් ලෙස තීන්දුවක් ගැනීමට සිදුවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    නව රජය ක‍්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳ දිස්ත‍්‍රික් පරිපාලන නිලධාරීන් සහ දිස්ත‍්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුවිය.
     
    මෙම අවස්ථාවට දුමින්ද දිසානායක, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, විජිත් විජයමුණි සොයිසා, චන්ද්‍රානි බණ්ඩාර යන අමාත්‍යවරුන් ඇතුළු අනුරාධපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්තී‍්‍රවරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya