ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පරිසර සමුළුවක් ලබන වසරේ දී

    ඔක්තෝබර් 22, 2015

    ජාතික පරිසර සමුළුවක් ලබන වසර මුල් භාගයේදී ශී‍්‍ර ලංකාව තුළ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. පරිසර විද්‍යාඥයින්, ලේඛකයින්, සාහිත්‍යධරයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, පාසල් සිසුන් ඇතුළු පරිසරයට ඇළුම් කරන සියලුදෙනාට ඒ සඳහා සහභාගිවිය හැකි බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (22) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවයට එක් වෙමිනි.

    පරිසරයේ වටිනාකම මැනවින් හදුනාගෙන මතු පරපුර වෙනුවෙන් එය සුරක්ෂිත කිරීමට නව රජය දැඩිව බැඳී සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා තිරසර සංවර්ධනය, හරිත ආර්ථිකය සහ නවෝත්පාදන ආර්ථිකය පිළිබඳ ප‍්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමේදී ලෝකයේ දියුණු රටවල් බොහොමයකට වඩා අද ශී‍්‍ර ලංකාව ඉදිරියෙන් සිටින බව ද කියා සිටියේය.

    ලබන වසරේ පවත්වන ජාතික පරිසර සමුළුව තුළදී පරිසරය වෙනුවෙන් කැප කිරීම් කරන සියලු දෙනා ඇගයීමට ලක් කිරීමට මෙන්ම පරිසරය රැක ගැනීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළට සියලු දෙනාගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ස්වභාව ධර්මය ආරක්ෂා කර ගැනීම සහ එය පෝෂණය කිරීම සියලු දෙනාට පැවරෙන ජාතික වගකීමක් බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිතුමා එය නීතියෙන් සිදු කළ නොහැකි අතරම පරිසරය රැක ගැනීමේදී අපගේ අතීත සම්ප‍්‍රදායන් මත පැවත එන යහපත් සිරිත් විරිත් නීතියට වඩා සවිමත් බව ද කියා සිටියේය.

    අද පාසල් දරුවන්ට මෙන්ම රාජ්‍ය උත්සව සඳහා ජනාධිපති මන්දිරය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා අධික මුදලක් වැය කරමින් එහි සිට වැජඹීමට නොව මතු පරපුර වෙනුවෙන් එම අතීත උරුමය සුරක්ෂිත කොට දායාද කිරීම තම අරමුණ බවද කියා සිටියේය.

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවය මෙවර සංවිධානය කර තිබුණේ පස් වන වරටය.

    පරිසර නියමු ජනාධිපති පදක්කම් ලාභීන් 71 දෙනෙකුට පදක්කම් පැළඳවීම සහ පරිසර නියමු වැඩසටහන භාර ගුරුභවතුන් දෙදෙනෙකුට විශිෂ්ට සේවා සමරු ඵලක ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ද පාසල් දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

     

    bals

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya