ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා

    දෙසැම්බර් 09, 2015

    රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. අප අත්සන් කරන්නේ රටට හිතකර ගිවිසුමක්. එහි අඩංගු වන්නේ ආර්ථික සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයට අදාළ වගන්ති පමණයි යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    අග්‍රාමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කළ අතර එහිදී සීපා ගිවිසුම පිළිබඳව ද කරුණු ප්‍රකාශ කරමින් මේ බව පැවසී ය.


    ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම සම්බන්ධව අප සියළු කණ්ඩායම් දැනුවත් කළා. මලික් සමරවික්‍රම අමාත්‍යතුමා මේ ගැන වෘත්තීය සංවිධාන සමග සාකච්ඡා පවත්වා තියෙනවා. ඒ සාකච්ඡාවන් සඳහා පැමිණි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ, මේ අයුරින් විවෘතව කටයුතු කිරීම ගැන තමන් රජයට ස්තුතිවන්ත වන බවයි.

     


    නමුත් සාකච්ඡාවේ දී එසේ පවසන ඔවුන් සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණ ජනමාධ්‍ය වෙත පවසන්නේ වෙනත් කතාවක්. ගිවිසුම සකස් කිරීමේ කමිටුවට වෘත්තීය සංවිධාන නියෝජියන් ඇතුළත් බව ඔවුන් කියන්නේ නෑ. නව ගිවිසුම, සීපා ගිවිසුමට වඩා වෙනස් බව ඔවුන් කියන්නේ නෑ. වෘත්තීය සේවාවන් සඳහා නව ගිවිසුම මගින් ඉඩ කඩ සලසා නැති බව ඔවුන් කියන්නේ නෑ. සාකච්ඡාවෙන් එළියට පැමිණි ඔවුන් ඇත්ත වෙනුවට බොරු කියනවා.


    ඒ වන විට සීපා ගිවිසුම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව එකඟ වී සිටියා. නමුත් සීපා ගිවිසුමේ යම් යම් කොන්දේසි නිසා ලාංකේය වෘත්තිකයන්ට අසාධාරණයක් වන බව අප එහිදී පෙන්වා දුන්නා. ඒ නිසා අප බලයට පත් වුණොත් සීපා ගිවිසුම අත්සන් නොකරන බවත්, ඒ වෙනුවට වෙනත් ගිවිසුමක් සකස් කරන බවත් අප ප්‍රකාශ කළා.


    සීපා ගිවිසුම වෙනුවට ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුමක් අත්සන් කළ යුතු බවට අප තීරණය කළේ ඒ සාකච්ඡා වලදීයි. ඉන්දීය අගමැති මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදීත් අප මේ ගැන සාකච්ඡා පැවැත්වූවා. මගේ ඉන්දීය සංචාරයේදීත් අප මේ ගැන සාකච්ඡා කළා. අප එහිදී කියා සිටියේ අපේ ගිවිසුම භාණ්ඩ සහ තාක්‍ෂණ ක්ෂේත්‍ර සඳහා පමණක් විය යුතු බවයි. වෘත්තීය සේවාවන් සඳහා එය වලංගු නොවිය යුතු බව අපගේ මතය වුණා.



    මම මේ ගරු සභාවට නැවතත් අවධාරණය කරන්නේ අපේ ආණ්ඩුව කිසි විටෙක සීපා ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවයි. වෙන නමකින් හෝ එසේ කරන්නේ නැති බවයි. සීපා ගිවිසුම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව එක් කර තිබූ වගන්තිවලට අප කිසිසේත්ම එකඟ වන්නේ නැති බවයි.


    දැන් අප රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. අප අත්සන් කරන්නේ රටට හිතකර ගිවිසුමක්. එහි අඩංගු වන්නේ ආර්ථික සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයට අදාළ වගන්ති පමණයි.ඉන්දියාව සමග පමණක් නොව චීනය සමගත් අප මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සිංගප්පූරුව සමගත් මෙවැනි ගිවිසුමක් අපි අත්සන් කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා සීපා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya