ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන දැවැන්තම සංවර්ධන විප්ලවය ලබන වසරේ සිට අරඹනවා - ජනපති

    දෙසැම්බර් 31, 2015

    ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන දැවැන්තම සංවර්ධන විප්ලවය ලබන වසරේ සිට අරඹන බව ජනපති අවධාරණය කරයි. ලබන වසරේ මුල සිට කි‍්‍රයාත්මක කිරිමට යෝජිත මහා නගර සංවර්ධන සැලැස්ම පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.


    බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සමස්ථ මහා නගර සංවර්ධනය සඳහා ලබන වසරේ මුල සිට කි‍්‍රයාත්මක කිරිමට යෝජිත මහා නගර සංවර්ධන සැලැස්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

     

    බස්නාහිර පළාත ප‍්‍රධානව රටපුරා තිබෙන අවිධිමත් නාගරික සංවර්ධනය විධිමත් ලෙස ලොව නවීන නාගරික සැලසුම් සහිත දැවැන්ත සංවර්ධනයක් බවට පත් කරමින් ජනතාවගේ ඒක පුද්ගල සතුට වැඩිකරන ස්ථාන බවට මහා නගර පත්කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. හරිත නගර සහ සුහුරු (Smart City) නගර සංකල්පය යටතේ නගර අලංකරනය මෙන්ම ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීම ද මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ නව රජය නව වසරේ කි‍්‍රයාවට නංවන ප‍්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතිය වන මහා නගර සංවර්ධන සැලැස්ම මෙතෙක් ශී‍්‍ර ලංකාවේ ක‍්‍රියාත්මක කරන සුවිශාල වූ සංවර්ධන ව්‍යාපෘතිය වන බවත් එය සාර්ථක කර ගැනීමට සියළුදෙනා දායක විය යුතු බවයි.

     

    මහා නගර සංවර්ධන සැලැස්ම 2016 නව වසර ආරම්භයත් සමඟම කි‍්‍රයාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා සියලූ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම සියලූ රාජ්‍ය නිලධාරින් ප‍්‍රමුඛ කාර්යක් සේ සලකා එහි වගකීම් ඉටු කළ යුතු බව ද ප‍්‍රකාශ කළේය.

     

    මහ නගර සංවර්ධන සැලැස්ම තුළ ප‍්‍රමුඛතා කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති කඩිනමින් විසඳුම් සෙවිය යුතු අධික වාහන තදබදය, කැළි කසළ ගැටළුව, පැල්පත්වාසින්ගේ නිවාස ගැටළුව මෙන්ම පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව ද එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කෙරේ.

     

    අදියර 03 ක් යටතේ කි‍්‍රයාත්මක සුවිසල් නගර සංවර්ධන සැළැස්ම 2030 වසර දක්වා විහිද යයි.

     

    සියලූ මහ නගර එක සේ සංවර්ධනය කර පහසුකම් සොයා කොළඹ නගරයට ඇදී එන ජනතාව අවම කර ගැනීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ඉදිරි වසර 10 තුළ ඇමරිකන් ඩොලර් බිලියන 30 ක පමණ ආයෝජන අපේ රටට ගෙන්වාගත හැකිවනු ඇති බවයි.

     

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැල්පත්වාසීන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් මෙම බස්නාහිර පළාත තුළ ජීවත් වන බවත්, මෙම සුවිසල් නගර සැලැස්ම යටතේ එම ගැටළුවට පිළියම් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර අදාළ සියළු සැලසුම් සිදු කරනු ලබන්නේ ජනතා අදහස් ලබාගනිමින්, දේශීය විද්වතුන්ගේ උපදෙස් මත බවත් එලෙස සකස්කරන සැලැස්ම පවා වසර පහෙන් පහට රටේ පවතින අවශ්‍යතාවය අනුව වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

     

    සීග‍්‍ර නාගරීකරණයත් සමග වාහන තදබදය, කැලිකසල ප‍්‍රශ්නය සමාජීයීය ගැටළුවක සිට ආර්ථික ප‍්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙයට වසර තුනකට පෙර කොළඹ නගරය වෙත දිනකට  වාහන ඇතුළු වූයේ 132,000 ක් පමණ වුවද මේ වන විට එය ලක්ෂ 05 දක්වා වර්ධනය වී ඇති බවත් එයින් 15% ක් මගී ප‍්‍රවාහන පොදු සේවාව වන අතර ඉතිරි 85% යතුරු පැදි, තී‍්‍රරෝද රථ, මෝටර් රථ හා වෑන් රථ වන බවය. මෙම සුහුරු නගර නිර්මාණයේදී ලබන වසර තුළ නව ජනතාවගේ එදිනෙදා නාගරික කටයුතු පහසුවෙන් කිරිම සදහා අන්තර්ජාලය හරහා නව ඩිජිටල් ක‍්‍රමවේද හදුන්වා දෙන බවත් අමත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

     

    තවද කොළඹ නගරය ඇතුළු තදාසන්න නගර ආශි‍්‍රතව පවතින අධික වාහන තදබදය නිසාවෙන් පසුගිය වසර තුළදී පමණක් රටට රුපියල් බිලියන 397 ක් අහිමිව ඇති බවත් මෙම තදබදය නිසාවෙන් නගරයක් තුළ වාහනයක සාමාන්‍ය ධාවන කාලය පැයට කි.මි. 20 සිට 12 දක්වා අඩු වී තිබෙන අතර ඒ සඳහා ද විධිමත් සැලසුම්  සකස් කිරීමට මෙම වැඩසටහන් මගින් බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    ඉදිරියේ දී ක‍්‍රියාත්මක කරන සියළු නාගරික සංවර්ධන ක‍්‍රියාවළිය ජාතික ප‍්‍රමුඛතා හදුනා ගෙන ඒ අනුව  ක‍්‍රියාත්මක කරන බව පැවසු අමාත්‍යවරයා මෙම මහා නගර සැලසුම් ක‍්‍රියාත්මක කිරිමේදී ප‍්‍රමුඛතවය ලබා දෙන කරුණු 03ක් පිළිබදව ද මෙහිදී පැහැදිලි කළේය.

     

    01. මාර්ග තදබදය සදහා විසදුම් ලබාදීම
    02. කසල ප‍්‍රශ්නයට කඩිනම් විසදුමක්
    03. දුගී ජනතාවගේ ගැටළු හදුනාගෙන ඒවා සඳහා කඩිනම් විසදුම් ලබාදිය හැකි අයුරින් නාගරික සංවර්ධන කටයුතු සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම,

    පිළිබදව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී අදහස් දක්වන ලදී.

     

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යවරුන්වන රාජිත සේනාරත්න, සුසිල් පේ‍්‍රමජයන්ත, අර්ජුන රණතුංග, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු ගම්පහ, කොළඹ, කළුතර දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් මැති ඇමතිවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya