ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පරිසර ආරක්ෂාව හා සංරක්ෂණයට නොබියව තීන්දු ගන්න- ජනපති

    මැයි 06, 2016

    පරිසරයේ ආරක්ෂාව සහ සංරක්ෂණය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට සම්බන්ධ සියලු ආයතන ප‍්‍රධානින්ගෙන් ඉල්ලයි.

    එම තීන්දු තීරණ ගන්නා නිලධාරින් වෙනුවෙන් පෙනී සිටීමට රජය සෑම අවස්ථාවකම සූදානම් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී පැවති වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ 6 වන ජාතික සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

    සොබා දහමේ ආරක්ෂාව වෙනුවෙන් අද ගත යුතු තීන්දු තීරණ කිසිසේත් හෙටට කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    සොබා දහමේ පැවැත්ම, ආරක්ෂාව සහ සංරක්ෂණය වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කිසිදු පසුබට වීමකින් තොරව නිසි ලෙසම ගැනීමට රජය ලෙස කටයුතු කරන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය, ක්ලීන් එයාර් ශී‍්‍ර ලංකා ආයතනය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව හයවන වරටත්  මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබයි.

    මෙම සම්මන්ත‍්‍රණයේදී වායු දූෂණ ගැටලු සහ වායු සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඉතාමත් නවීන තාක්ෂණික, විද්‍යාත්මක, ප‍්‍රතිපත්තිමය වශයෙන් වන පර්යේෂණ කරුණු ඉදිරිපත් කිරීමට හා සාකච්ඡා කිරීමට නියමිතය.

    මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සොබාදහම රැකගෙන සංවර්ධන කටයුතු කළයුතුය යන සටන් පාඨය අද ජාත්‍යන්තර සටන් පාඨයක් බවට පත්ව ඇති බවයි.

    පරිසර දූෂණය හා වායු දූෂණය හේතුවෙන් වන අයහපත් තත්වයන්ට අද මුළු ලෝකයම මුහුණ දී සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝකයේ ප‍්‍රබල රටවල සියලු රාජ්‍ය නායකයින් එක්ව ළග ළග පරිසර සමුළු පවත්වමින් ඉතා කලබලයෙන් තීන්දු තීරණ ගන්නේ එහි අයහපත් තත්වයන් මැනවින් අවබෝධ කරගෙන සිටින නිසා බව ද කියා සිටියේය.

    ජනාධිපතිවරයා ලෙස තමා පරිසර අමාත්‍යාංශය භාරගත්තේ එක් අතකින් පරිසර විෂයට ඇති කැමැත්ත මෙන්ම පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් අන් අයගේ බලපෑමකින් තොරව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙන නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    2025 පිරිසිදු වායු කි‍්‍රයාකාරී සැලැස්ම, එළිදක්වමින් එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ද, දකුණු ආසියාතික පාරිසරික සහයෝගිතා වැඩසටහනෙහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුහම්මද් කුර්ෂිද්, එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනෙහි ආචාර්ය බර්ටි ෆැබියන් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya