ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දූෂණ විරෝධ අන්තර්ජාතික සමුළුවේදී ජනාධිපති කළ කතාව

    මැයි 13, 2016

     දූෂණ විරෝධ අන්තර්ජාතික සමුළු ඊයේ (12) ආරම්භ වූ අතර එම සමුළුව ආරම්භක දිනයේදී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම සමුළුව ඇමතීමට අවස්ථාව හිමි විය.

    ජනාධිපතිතුමා එම සමුළුව අමතා කළ කතාව පහතින් දැක්වේ.

    “දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට ආරාධනා කිරීම පිළිබඳ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා වෙත පළමුව මගේ ස්තූතිය පිරිනමනවා.

     

    අද ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන දූෂණයට එරෙහිව සටන් කිරීමේ පෙරමුණ සඳහා අපේ හදවත් එකට එක් කිරීමට ගන්නා ලද විශේෂ පියවරක් ලෙස මෙම සමුළුව හඳුන්වාදිය හැකියි.

     

    දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ බරපතළ චෝදනා සහිත යුගයක් ශී‍්‍ර ලංකාව පසු කළා. ජනතාව විසින් එම තත්ත්වයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 ජනාධිපතිවරණයේදී එම පාලනය වෙනස් කර යහපාලන රජය බලයට පත්වුණා.

     

    ඒ අනුව ශී‍්‍ර ලාංකීය ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එම දූෂිත පාලනයෙන් සහ ඔවුන්ගේ උදව්කරුවන්ගෙන් මිදුණා. අද ශී‍්‍ර ලංකාවේ තිබෙන්නේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්ඩුවක්. මාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ එය පවත්වාගෙන යනු ලබනවා.

     

    අප මහජන ඡන්දයෙන් තේරි පත්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන ප‍්‍රතිපත්ති තහවුරු කිරීම මත පදනම්වයි. එබැවින් රටින් දූෂණය තුරන් කර දැමීම අපේ මූලික වගකීමක් ලෙස සලකනු ලබනවා. මේ සම්බන්ධව අප දැනටම වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම තුළින් ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා දුන් බව මම මේ සමුළුවට දන්වා සිටීමට කැමතියි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවරාදිය නොහැකියැයි තීරණය කරන ලද බලතල හැර අනෙක් බොහොමයක් බලතල මම පාර්ලිමේන්තුවට පවරාදෙනු ලැබුවා.

     

    කෙසේ වෙතත් මාගේ විනිවිදභාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම මෙන්ම දූෂණයෙන් තොර යහපාලනයක සඳහා ඇති කැපවීම හේතුවෙන් මම දූෂණ විරෝධි කාර්යාලයක් ස්ථාපිත කළා. විශේෂයෙන්ම අල්ලස් හා දූෂණ පිටුදැකීමේ කොමිෂන් සභාවක් පත් කළා. තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි කාලයේදී විගණන පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මේ සියලු ආයතනවල කි‍්‍රයාකාරිත්වය සතුටුදායක මට්ටමින් සිදු වෙනවා.

     

    ඒ වගේම අපි පොලිසිය තුළ විශේෂ මුල්‍ය අපරාධ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. එම ආයතනය ස්ථාපිත කළේ, ප‍්‍රධාන මුල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන කාර්යයන් කඩිනම් කිරීම සඳහායි. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අපි එම ආයතනයට ලබාදි තිබෙනවා, ඔවුන්ගේ කාර්ය හොඳින් ඉටු කිරීම සඳහා.

     

    මේ වන විටත් ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ කි‍්‍රයාවලිය ආරම්භ කර තිබෙනවා. එක්සත් රාජධානිය, ඇමරිකාව, ඉන්දියාව, ස්විස්ටර්ලන්තය වගේම ලෝක බැංකුවෙනුත් අපට ඒ සඳහා විශේෂ සහාය ලබා දී තිබෙනවා.

     

    ඒ වගේම පසුගිය සමයේ ඇතැම් පුද්ගලයින් අයථා ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ කි‍්‍රයාවලිය අපි තවදුරටත් සිදු කරනවා.


    දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට සහාය දැක්වීමට මෙම සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව අපි සතුටු වෙනවා.


    ජාත්‍යන්තර දූෂණ විරෝධී සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සමුළුවේදී යෝජනා කිරීම වෙනුවෙනුත් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

     

    ඒ වගේම දූෂණය හඳුනාගැනීමට සහ පිටුදැකීමට ස්ථාපිත කර තිබෙන ආයතන ශක්තිමත් කිරීමට අපි නායකයින් ලෙස සාමුහිකව එක්වී ක්‍රියා කළ යුතුයි.

     

    දූෂණය පිටුදැකීමට ශී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් කැපවන බව මම මේ අවස්ථාවේදී නැවතත් සඳහන් කරන්න කැමතියි.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya