ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විපතට පත් වූවන්ට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දිනක වැටුප දෙති

    මැයි 22, 2016

    අනපේක්ෂිතව ඇති වූ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් අපගේම සෘහද ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති කාර්යාලයේ හා එය යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩලය සිය දිනක වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබේ.

    මෙයට අමතරව වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හා ඒ යටතේ ඇති ආයතන සංවිධානය කර තිබූ වෙසක් බැති ගී ප‍්‍රසංග, දන්සැල ඇතුළු සියලු වැඩසටහන් අවලංගු කිරීමට තීරණය කර ඇති අතර එම වැඩසටහන් වෙනුවෙන් වෙන් කර තිබූ සියලු මුදල් මෙන්ම කාර්ය මණ්ඩලයේ පරිත්‍යාග විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා යෙදවීමට තීරණය කර ඇත.

    මෙලෙස රැස්වන මූල්‍ය පරිත්‍යාග උපයෝගී කරගනිමින් අරමුදලක් පිහිටවන ලෙස ගරු ජනධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් වෙත උපදෙස් දී ඇති අතර අවතැන්වූවන්ගේ මේ මොහොතේ අවශ්‍යතාවයන් මෙන්ම ගං වතුර පහව ගොස්, නැවත පදිංචියට ගිය පසු සපයා දියයුතු මූලික සනීපාරක්ෂක පහසුකම්, පානීය ජල අවශ්‍යතා හා වෙනත් පෝෂණ හා සෞඛ්‍ය අවශ්‍යතා සපුරාදීමට මෙම අරමුදල උපයෝගි කර ගැනීමට නියමිතය.

    අයහපත් කාලගුණික තත්ත්වය මත අවතැන්ව විවිධ පීඩාවන්ට මුහුණදෙන සහෘද ප‍්‍රජාව වෙනුවෙන් වියළි ආහාර හා ඇඳුම් පැළදුම් සපයාදීමට ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය පෞද්ගලිකව ද සාමුහිකව ද කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර එය තවදුරටත් කි‍්‍රයාත්මක වේ.

    මෙම ආපදා අවස්ථාවේ රජය, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය ද, සිවිල් ආරක්ෂක බළකාය ද ඇතුළු අනෙකුත් සියලු රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප‍්‍රජාව ද විශේෂයෙන් ජනමාධ්‍යය ද සම්බන්ධ කර ගනිමින් හදිසි සහන සැලසීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන අතර කිසියම් හේතුවක් මත හානියට පත් වූ ප‍්‍රදේශයකට හෝ එමගින් පීඩාවට පත් වූ ප‍්‍රජාවට මෙතෙක් අවධානය යොමු වී නොමැති නම් හෝ සැලසෙන සහන ප‍්‍රමාණවත් නොමැති නම් ඕනෑම දුරකථනයකින් 1919 අංකය අමතා ඒ බව දැනුම් දෙන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya