ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාව සමඟ ඇත්තේ ශක්තිමත් සබඳතාවක් - අගමැති

    ජූලි 29, 2016
     
    ඉන්දු ලංකා සබඳතා ශක්තිමත් කළ යුතු බවත් අපට ඇත්තේ දේශපාලන සබඳතා පමණක් නොව ඊට එහා ගිය ශක්තිමත් සබඳතාවක් අප සතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    සංස්කෘතිය ආගම මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා  පවතින බවත් මේ ක්‍රියාදාමයට දැන් දොස් කියූවත් එහි ප්‍රතිඵලය තවත් වසරකින් දකින්නට ලැබෙන විට හොඳ කියාවි යැයි ද ඉන්දු ලංකා සබඳතා මේ අයුරුන් විශාල ලෙස දියුණු කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
     
    මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව:
     
    "වසර තුනකට පෙර මෙම ගාලූ මුවෙදාර පිටිය වැලි කොට්ට දමා යොදා ගත්තේ කුමක් සදහාද? ලැම්බෝගිනි රථ ගණනාවක් මෙතනින් පිටවී වටේ ගිහින් දෙතුන් දෙනෙකු ඊට යටවී තුවාල වී මිය ගියා. රාජපක්ෂ  පාලනය යටතේ නෙයිට් රේසින් සඳහා යොදාගත් ගාලූ මුවෙදාර පිටියෙන් යහපාලන රජය යටතේ  රට තුලට ක්‍ෂුද්‍ර රෝහලක් අද පිටත්ව යනවා. එම කුඩා රෝහල් රට තුළට පිටව යන්නේ ජීවිත බේරා ගැනීම සඳහායි". 
     
    "නෙයිට් රේස් පැවැත්වූ ස්ථානයේ තුවාලකරුවන් ළඟම ඇති රෝහලට ගෙන ගොස් දැමීම සඳහා ඒ යුගයේ හෙලිකොප්ටර් පවා නවත්වා තිබුණා. නමුත් ඈත ගම්මානවල හදිසි අනතුරක් සිදුවුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද ? ගසකින් වැටී තුවාල ලැබුවහොත් සිදුවන්නේ කුමක්ද ? හදිසියකට ගිලන් රථයක් සොයා ගන්නවත් බැහැ. ගිලන් රථ සොයා ගත්තත් ඒවා හොඳ තත්ත්වයේ නැහැ". 
     
    "ඉන්දියාවෙන් අපට ප්‍රදානය කර ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ ගිලන් රථ සේවයක්. රෝගියා රෝහලට ගෙනෙන තෙක් ඔහු ජීවත් කරවීම සඳහා අවශ්‍ය වන සියලු ම පහසුකම් මෙම ගිලන් රථයේ ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම සෑම ගිලන් රථයකම හදිසි වෛද්‍ය කාර්මිකයෙකු සිටිනවා. අද අප අරඹන්නේ ජීවිත බේරා ගැනීමේ සේවයක්. මෙම සේවය නිසා ජීවිත ගණනාවක් සුරැකෙනවා. ඈත පළාතක රෝහලක සිට නගරයේ රෝහලකට රෝගීන් යවනවා නම් මෙවැනි ගිලන් රථ සේවයක් හරහා ජීවිතවලට සැලසෙන සහනය අපමණයි". 
     
    "අපට මෙතරම් කළක් මෙවැනි සේවයක් ලබා ගැනීමට නොහැකි වුණා. එසේ වූවාට මා රාජිත සේනාරත්න ඇමතිතුමාට දොස් කියන්නේ නැහැ. මන්ද පසුගිය වසර කිහිපයේදී සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන් කළ මුදල ඉතා අවමයි. එම තත්ත්වය යටතේ මෙවැනි සේවාවක් අරඹන්නේ කෙසේද ? පළමුවෙන්ම රෝහල්වල බෙහෙත් තිබිය යුතුයි. තිබෙන ගිලන් රථයට ඉන්ධන සොයා දිය යුතුයි. මෙවැනි සේවාවන් ගැන සිතිය යුත්තේ මා පෙර සඳහන් කළ මූලික පහසුකම් ලබාදීමෙන් අනතුරුවයි". 
     
    "ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි පූර්ව රෝහල් ප්‍රතිකාර ඒකකයක් අපට ලැබී තිබෙනවා. බස්නාහිර සහ දකුණ පළාත්වලට මුලින් මෙම සේවය ක්‍රියාත්මක කරනවා. විශාලත ම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම පළාත්වලයි. මෙම අවස්ථාවය වැඩම කර සිටින ගලබොඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන්ගේත්, බානගල උපතිස්ස හාමුදුරුවන්ගේත්, තිනියාවල පාලිත හාමුදුරුවන්ගේත් ගම් පිහිටා තිබෙන්නේ දකුණු පළාතේයි. දැන් අපේ ගිලන් රථ සේවාව අනුව අගලවත්ත, හිනිදුම ඕනෑම ප්‍රදේශයක ජනතාවට සේවය ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. දුෂ්කර ගම් දනව්වල වෙසෙන ජනතාවට වුවත් කුඩා රෝහලකින් සම්පූර්ණ ප්‍රතිකාරය ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා". 
     
    "අපේ භාෂාවෙන් කියනවා නම් මේ කරන සත්කාරය පිනක්. මෙම පින අනුමෝදන් කළ යුත්තේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිතුමාටයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණ අප සමග සාකච්ඡා කරන අවස්ථාවේදී මා මෙම ගිලන් රථ සේවය පිළිබඳ ව සඳහන් කොට එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිදැයි විමසුවා. ඔහු කිසිදු පැකිලීමකින් තොරව එම සේවය අපට ලබාදීමට එකග වුණා. මෙම වැඩකටයුතු පටන් ගත්තේ එතැන් සිටයි. හැකි තරම් ඉක්මනින් එම සේවය ලබාදෙන ලෙස මා නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියා. නරේන්ද්‍ර මෝදි මහතා දුක් විද ජයගත් අයෙකු නිසා මෙවැනි සේවයක ඇති වටිනාකම් පිළිබඳ ව හොදින් දන්නවා. එතුමාගේ ජීවිතයත් අමාරුවෙන් නැගී සිටි ජීවිතයක්. වත්මන් ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා වන්නේ ද මෙම පියවර නිසයි".
     
    "නගරාශ්‍රිත ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනයේ දී තවත් වැඩසටහන් තිබෙන බව නරේන්ද්‍ර මෝදි මහතා මා සමග පැවසුවා. ගිලන් රථ වාහන තදබදයට හසුවෙනවා නම් පාපැදියකින් හෝ ගොස් රෝගීන් බේරා ගැනීමේ ක්‍රමවේද තිබෙන බව ඔහු මා සමග සඳහන් කළා. අප ජීවිත බේරා ගත යුතුයි. එලෙස ජිවිත බේරා ගැනීම සඳහා අප කළ ඉල්ලීම සලකා නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කර තිබෙනවා. එමෙන්ම එතුමා සමග කතා කොට අප දැන් ඉන්දියාවෙන් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරන යන්ත්‍ර ගෙන ඒමට සූදානමින් සිටිනවා. එයත් අපේ අවශ්‍යතාවයක්. එලෙස අවශ්‍ය තැන්වලට උපකාර කිරීම සඳහා අප ඉන්දියාවේ සහයෝගය ලබා ගන්නවා". 
     
    "රෝගීන් සුවපත් කිරීම අපට කළහැකි ලොකුම පිංකම බව බුදු දහමේ මෙන්ම හින්දු ආගමේ ද සඳහන්ව තිබෙනවා. රෝගීන්ට උවටැන් කිරිමේ අගය පිළිබඳ ව බුදුන් වහන්සේ සෑම අවස්ථාවකම දේශනා කොට තිබෙනවා. ඒ සඳහා මහා සංඝ රත්නයටත් වගකීමක් තිබෙනවා. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් රෝගීන් සුවපත් කිරීමේ අගය පිළිබඳ දේශනා කර තිබෙනවා. මෙලෙස සෑම ආගමකම ගිලානෝපස්ථානයේ අගය පිළිබඳ ව සඳහන් කර තිබෙනවා. ඉදිරියටත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්දීය ආධාර ලබාගැනීමට හැකිවේවි. දැනටමත් ඉන්දියාවෙන් අපට රෝහල් දෙකක් ලබාදී තිබෙනවා. අපේ වෙදකම පැමිණියේ ඉන්දියාවෙන් බව අමතක නොකළ යුතුයි. ආයුර්වේද වෙදකම මෙන්ම දේශීය වෙදකම දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග ඒකාබද්ධ වී වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි දේ අපට ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් නැහැ". 
     
    "නරේන්ද්‍ර මෝදි මහතා මෙහි කළ කතාවට අප ඇහුම්කන් දුන්නා. යාපනයේ දුරෙයි අප්පා ක්‍රිඩාංගණය නවීකරණය කිරීම, උඩරට දෙමළ ජනතාවට නිවාස ඉදිකරදීම ආදී වැඩකටයුතු රාශියක් නරේන්ද්‍ර මෝදි මහතා මැදිහත් වී සිදු කරනවා. ඒ පිළිබඳ ව අප එතුමාට විශේෂ ස්තුතිය පලකරනවා". 
     
    "මා එනවිට මෙහි තිබුණේ ගිලන් රථ 88යි. මම යනවිට ගිලන් රථ පැටව් ගසා තව 20ක් තිබෙනවා. කළමණාකරණ හා පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය ජී. වී. කේ. රෙඩ්ඩි මහතා තවත් ගිලන් රථ 20ක් පරිත්‍යාග කළා. එතුමා කළේ විශාල පිනක්. අවශ්‍ය නම් දැන් එක් ගිලන් රථයක් කෝට්ටේ ප්‍රදේශයේ තබා ගැනීමට හර්ෂ ඇමතිතුමාට පුළුවන්. පාර්ලිමේන්තුවත් එම ප්‍රදේශයේ පිහිටා ඇති නිසා ඒක නුවණට හුරුයි". 
     
    "ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශක්තිමත් වෙළෙඳ සබඳතා තිබුණා. හොඳ වෙලාවට එකල රජවරුන් ඉන්දු ලංකා ගිවිසුම් තහනම් කර තිබුණේ නැහැ. එලෙස තහනම් කළා නම් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ටත් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වෙනවා. එමනිසා මෙම අතීත සිද්ධි දැනගෙන අප මේවායින් ප්‍රයෝජන ගත යුතුයි. මේ සඳහා මුල් වූ ඉන්දියන් රජයටත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ සින්හා මහතාටත් වෛද්‍ය ජී.වී.කේ. රෙඩ්ඩි මහතාටත් ස්තුතිය පළ කළ යුතුයි. දැන් මේ වැඩකටයුත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදී තිබෙනවා. ඔබ එම වැඩකටයුත්ත බාරගෙන ආරක්ෂා කර ගන්න. ඒ සඳහා වෙනම අංශයක් පිහිටුවන්න. ප්‍රතිපල පෙන්වන්න. මෙම ගිලන් රථවල ටයර් නැතිව තිබෙන අයුරු කිසි දිනෙක පෙන්වන්න එපා. එහි නඩත්තු කටයුතු සඳහා අප වෙනම මුදල් සොයා දෙන්නම්". 
     
    "මෙම සේවය නිසා ඈත ගම්මානවලට වෙනම රෝහල් සේවයක් ලබාදීමට අපට හැකියාව තිබෙනවා. අප බලාපොරොත්තු වන සුභසාධනය සැලසෙන්නේ ඒ තුළිනුයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අප යහපාලන ආණ්ඩුවක් ඇතිකොට තිබෙන නිසා ජාත්‍යන්තරයෙන් අපට මෙවැනි ආධාර ලබාගත හැකියි. ඒ මෙරට දේශපාලන ස්ථාවර බවක් ඇති නිසයි. ඒ පක්ෂයට උදව් කරනවා, මේ පක්ෂයට උදව් කරනවා යැයි කිසිවෙකුට කියන්නට හැකියාවක් නැහැ. ජාතික ආණ්ඩුවක් යටතේ සියලු දෙනාම උදව් කරන්නේ රටටයි. අද අපට ලැබී ඇත්තේ ජාතික ආණ්ඩුවේ වාසියයි. මේ ගැන වටහා ගෙන නොමැති ජනතාවටත් ඊළඟ මාස කීපයේදී වැටහීම ලබාගන්නට හැකිවේ යැයි මා කල්පනා කරනවා". 
     
    "සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම අධ්‍යාපනයටත් අප විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. වසර 13ක් අධ්‍යාපනය අනිවාර්ය කිරීම අපගේ සැලසුමයි. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදීමට කටයුතු කර තිබෙනවා. විද්‍යා උපාධි ගුරුවරුන් පන්දහසක් බඳවා ගැනීමට කටයුතු කරනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශ දෙක අප අමතක කර නැහැ. මෙම ක්ෂේත්‍ර දෙක සඳහා වැය කරන මුදල් වැඩිකිරීමට අප කැපවී සිටිනවා. මෙම ගිලන් රථ සේවය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා උපකාර කළ ඉන්දීය රජයට නැවතත් විශේෂ ස්තුතිය පළකරනවා".  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya