ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ආයෝජනයට නිරිතදිග චීනයෙනුත් උපරීම සහය

    අගෝස්තු 13, 2016

    ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමේ ව්‍යායාමයට සහ ආයෝජකයන්ට හිතකර හා දිරිදෙන පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරලීමේ සැලසුමට උපරිම සහය ලබා දෙන බව නිරිත දිග චීනයේ චොංජිං මහනගරයේ නගරාධිපති හුඅං ජිෆාන් මහතා පැවසීය.

    නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ තම මහනගරය හා සම්බන්ධව සිටින ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සඳහා පෙළඹවීමට කටයුතු කරන බවයි.

    නගරාධිපති හුඅං ජිෆාන් මහතා මේ අදහස් පළ කළේ අද (13) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමු වූ අවස්ථාවේ දී ය.

    චොංජිං නුවර වුඩූ හෝටල් පරිශ්‍රයේ පැවති මේ සාකච්ඡාවේ දී නගරාධිපති හුඅං ජිෆාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේ දී එළැඹෙතැයි අපේක්‍ෂා කෙරෙන ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදෙන්නට හැකි එක ම කලාපය ආසියානු කලාපය බව ය.
    බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් ඇතුළුව ඉන්දියාව, චීනය, ජපානය, සිංගප්පූරුව ප්‍රධාන නැගෙනහිර ආසියානු රටවල් මේ අවස්ථාවේ ලෝක ආර්ථිකය හසුරුවන ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත් වනු ඇති බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාත්, චොංජිං නගරාධිපතිවරයාත් විශ්වාසය පළ කළහ.

    මෙහිදී පසුගිය වසර පහක කාලය තුළ දී චොංජිං නගරය නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ලබා ගත් සීඝ්‍ර දියුණුව පිළිබඳවත්, එවන් කඩිනම් හා දැවැන්ත දියුණුවක් ලබා ගැනීමට පාදක වූ හේතු සාධක හා සැලසුම් පිළිබඳවත් නගරාධිපති හුඅං ජිෆාන් මහතා දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන්නේය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු සම්මුතිවාදී ආණ්ඩුව ලෝකයේ නව ආර්ථික හා සමාජයීය ප්‍රවණතාවන් හා අර්බුදයන් හඳුනාගනිමින්, තිරසර ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කරලීම ඔස්සේ නව ඉදිරි ගමනකට මුල පුරා ඇති බවත්, ඒ ගමනේ අවසන් අපේක්‍ෂාව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීම බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
    වැඩිදුරටත් කරුණු දක්වමින්, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව ජාතික ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධව පැහැදිලි කළ අතර, පැරණි සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලබා ගත් කීර්තිය නැවත ලබා ගැනීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙළ පිළිබඳව ද සඳහන් කළේ ය.

    නිවාස හා දේපල කලාපයක් ලෙස ගොඩනැංවීමට නියමිතව තිබූ කොළඹ වරාය නගරය ඊට වෙනස් මානයකට ගෙන එමින්, මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට ගත් පියවර ඉතා අගය කළ යුත්තක් බව නගරාධිපති හුඅං ජිෆාන් මහතා පෙන්වා දුන්නේය.
    සිංගප්පූරුව හා ඩුබායි අතර, මූල්‍ය නගරයක් ඉදි කරලීමේ අවකාශයක් ඇති බව අවධාරණය කළ හුඅං ජිෆාන් මහතා, එවැනි නවමු සංකල්පයක් ක්‍රියාවට නැංවීමේ දී සිංගප්පූරුවෙන් සහ ඩුබායි නගරයෙන් ගත හැකි ආදර්ශයක් බොහෝ ඇති බව ද පැවසීය. චොංජිං නගරය පමණක් නොව චීන මධ්‍යම ආණ්ඩුව ද සිංගප්පූරුව සමග ඉතා සමීප ආර්ථික හා මූල්‍ය සබඳතාවන් පවත්වාගෙන යන බව පෙන්වා දුන් නගරාධිපතිවරයා ඒ ඔස්සේ ලබා ගත හැකි වූ වාසි ගණනාවක් ද පැහැදිලි කළේ ය.

    ද්විපාර්ශවික සාකච්ඡාව අවසානයේ නගරාධිපති හුඅං ජිෆාන් මහතා ශ්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, බස්නාහිර මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත ද කොස්තා, සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංගල යාපා, දකුණු සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත්, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක රයන් රොක්වුඩ් යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන් ලියැං, චොංජිං සම්බන්ධතා උත්පාදන බියුරෝවේ අධ්‍යක්‍ෂ ජනරාල් හන් බව්චාං, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ටං වෙන් ප්‍රධාන නිලධාරීහු චීන පාර්ශවය නියෝජනය කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya