ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මිනිසුන් සන්සුන් කළ හැකි එකම දහම ථේරවාදී බුදුදහම- ජනපති

    අගෝස්තු 19, 2016

    වත්මන් සමාජයේ නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම දහම ථේරවාදී බුදුදහම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මෙම අදහස් පළකරනු ලැබුවේ පොල්ගොල්ල, ශ‍්‍රී සාලවන බෝධි විහාරස්ථානයට මියන්මාර දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ තැන්පත් කරන ලද අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගී වෙමිනි.

     

    බෞද්ධ දර්ශනය මුල්කරගනිමින් අනෙක් ජාතීන්ගේ අදහස්වලට ගරු කරමින් යහපත් සමාජයක් බිහිකිරීමට තමන් ඇතුළු රජය කැපවන බවත් ජාතික සමගිය ගොඩනගමින් රටක් ලෙස සංවර්ධනය වීමට අවශ්‍ය විසඳුම් බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාව සියවස් ගණනක සිට පැවත එන ශ‍්‍රී ලංකා මියන්මාර සබඳතා ශක්තිමත් කරලීමේ තවත් එක් අවස්ථාවක් බව සිහිපත් කළ ජනාධිපතිතුමා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

     

    අභිනව විහාර මන්දිරය වැඳ පුදා ගනිමින් ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කරමින් සුවදුක් විමසනු ලැබීය.

     

    බුදුදහමට සිදුකරන සේවය අගයමින් රන් ආලේපිත චෛත්‍ය අනුරුවක් ජනාධිපතිතුමා අතින් මියන්මාරයේ සංඝරාජ අතිපූජ්‍ය කුමාරාභිවංශාභිධාන මහනායක හිමියන් වෙත පූජා කෙරුණු අතර මහනායක හිමියන් විසින් ද ජනාධිපතිතුමා වෙත මියන්මාරයෙන් වැඩම කරවන ලද බුද්ධ ප‍්‍රතිමාවක් ප‍්‍රදානය කිරීමද  මෙහිදී සිදු විය.

    මෙම අවස්ථාවට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ‍්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්වාමීන් වහන්සේ, තෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය රවී කරුණානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ඇතුළු මැතිඇමතිවරුන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya