ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජගත් මහ ලේකම්වරයාගේ පැසසුමට

    සැප්තැම්බර් 02, 2016
    වත්මන් රජය යටතේ ශී‍්‍ර ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතාගේ ප‍්‍රසාදයට ලක් වෙයි.
     
    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජගත් මහ ලේකම්වරයා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අතර එහිදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.
     
    ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ සියලු පළාත්වලට සාධාරණ සංවර්ධනයක් ලබාදීම වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවත්, ඉදිරියේදි සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
     
    පසුගිය වසර 1 1/2 තුළ ශී‍්‍ර ලංකාවේ සියලු ක්ෂේත‍්‍රවල ලබා ඇති ප‍්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කළ ජගත් මහ ලේකම්වරයා ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.
     
    නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා දැනට රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී මහ ලේකම්වරයා දැනුවත් කළේය.
     
    එමෙන්ම නැවත පදිංචිකිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, ඉඩම් නිදහස් කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය මාර්ග නඟාසිටුවීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී බෑන් කී මුන් මහතා දැනුවත් කළේය.
     
    තමන් අද පෙරවරුවේ ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් එහි තරුණ ප‍්‍රජාව සමග සංවාදයක නිරතවීමට තමාට අවස්ථාව ලැබුනු බවත් මෙහිදී පැවසූ බෑන් කී මුන් මහතා අද ඔවුන් දරන නව ආකල්ප සහ එම ප‍්‍රදේශවල තහවුරු වී ඇති සාමකාමී සමාජය පිළිබඳ ව තමන් ඉතා සතුටට පත්වන බවද ප‍්‍රකාශ කළේය.
     
    මෙම මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසියේ දී ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකාව කටයුතු කරනු ඇති බවට තමා ඉතා සුබවාදී අපේක්ෂා තබා ඇති බව ද ජගත් මහ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya