ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ප‍්‍රබල ජනමතයක් සමාජගත කිරීමට සියලු දෙනා එක්විය යුතුයි- ජනපති

    සැප්තැම්බර් 09, 2016

    මුළු මහත් ජන සමාජයම විනාශ කරමින් රටේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට පත් කරන මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳ ප‍්‍රබල ජන මතයක් සමාජගත කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    "මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වන අදියර යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර අද (09) පෙරවරුවේ යාපනයේ එළිමහන් කි‍්‍රඩාංගණයේ දී පැවති එහි ප‍්‍රධාන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

     

    මතින් නිදහස් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් රටත් ජාතියත් වෙනුවෙන් වූ වගකීම ඉටු කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

     

    යුද බියෙන් නිදහස් වූ උතුරේ අද තිබෙන බරපතළම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම උවදුරෙන් එම ජනතාව ගලවා ගැනීමට සියලු දෙනා ඒකරාශී විය යුතු බව ද කියා සිටියේ ය.

     

    2015 වසරේ යාපනය දිස්ති‍්‍රක්කයේ ජනතාව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙදහස් දෙසීය හයකි.


    වසරේ මුල සිට මේ දක්වා යාපනයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් තුළින් හසු වූ කේරළ ගංජා ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 194 කි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන්නන්ය.


    දැඩි නීති රෙගුලාසි, පනත් ප‍්‍රතිපත්ති තුළින් පමණක් ජාවාරම්කරුවන් මැඩලිය නොහැකි බව ද පැවසූ ජනාධිපතිතුමා මත්කුඩු ජාවාරම්කරුවන් පිළිබඳව සමාජය තුළ මීට වඩා විවේචන එල්ල වෙනවා නම් එම ජාවාරම් යම් අයුරකින් මැඩ පැවැත්විය හැකි බව ද කියා සිටියේය.

     

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය හා යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

     

    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනෙකු වෙත නිල ලාංඡුන පැළඳවීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මත්ද්‍රව්‍ය නිවාරණයට කැප වූ ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේතුවේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත තිළිණ ප‍්‍රදානය ද සිදු විය.


    අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන වී. රාධකි‍්‍රෂ්නන්, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන්, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද උතුරු පළාත් දිස්ති‍්‍රක් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරිහුද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya