ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් දැයෙන් නික්මයාමෙන් හිස්වන ඉඩ කිසිසේත් පුරවාලිය නොහැකියි

    නොවැම්බර් 04, 2016

    ගීත කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා ගාන්ධර්වයාණන් ආචාර්ය, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් දැයෙන් සමුගත්තේ අප සංගීත ක්ෂේත්‍රයේ යුගයක නිමාව සනිටුහන් කරමින් බවත් ඒ නික්මයාමෙන් හිස්වන ඉඩ කිසිසේත් පුරවාලිය නොහැකි බව සිහිපත් කරනුයේ මහත් සංවේගයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් දැයෙන් සමුගැනීම වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

     

     

    ශෝක පණිවුඩය

    ලාංකේය සංගීත ක්ෂේත්‍රයට, ගීත කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා ගාන්ධර්වයාණන් ආචාර්ය, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් දැයෙන් සමුගත්තේ අප සංගීත ක්ෂේත්‍රයේ යුගයක නිමාව සනිටුහන් කරමින් යැයි සිතමි.

    ඉපිද මැරෙන, යළි ඉපදෙනඅනියත ලෝ දහම පිළිබඳව ගීතයෙන් අප හදවත් මත ලියා තැබූ එතුමා නික්ම යන්නේ ඒ අනියත ලෝ දහමට හිස නමමින් වුව, ඒ නික්මයාමෙන් හිස්වන ඉඩ කිසිසේත් පුරවාලිය නොහැකි බව සිහිපත් කරනුයේ මහත් සංවේගයෙනි.

    ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා නම් වූ ඔහු, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ‘අමරණීය ආත්මයක් ලද දේවයාණන්’ යන අරුතින් අමරදේව ලෙසින් නම් කිරීමකොතරම් සාධාරණදැයි එතුමා අප අතරින් සමුගත් මේ ශෝකී මොහොතේ මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

    ළමා වියේ සිටම සංගීතය කෙරෙහි බැඳුණු සිතින් සතතාභ්‍යාසයෙන්, අධ්‍යයනයෙන් නිරන්තර කැපවීමෙන් තම හැකියාවන් ඔපමට්ටම් කරගත් ආචාර්ය අමරදේවයන් ලාංකේය ජන සංගීතය සහ භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කරගනිමින් හෙළ සංගීතයට නැවුම් සංගීත සම්ප්‍රදායක් හඳුන්වා දෙන්නට පුරෝගාමීව කටයුතු කළේය.

    ආචාර්ය අමරදේවයන්ගේ ගැඹුරු, සුගායනීය හඬ සදාතනිකව අප හදවත් ආමන්ත්‍රණය කරනු ඇත. ඒ අර්ථ පූර්ණ, රස පූර්ණ ගී මහෝඝය, එතුමන් නිමැවූ සුමධුර ස්වර රචනා අප හෙළ දෙරණ මත සදාකල්හිම රාව ප්‍රතිරාව නංවනු නොඅනුමානය.

    පණ්ඩිත් අමරදේවයන්ගේ විශිෂ්ටත්වය පවතිනුයේ සංගීතඥයෙකු, ගායකයෙකු, වාදකයෙකු ලෙස පමණක් නොවේ. එතුමා පුළුල් සාහිත්‍ය ඇසුරක් පැවති, හෙළ බස මෙන්ම පෙරපර දෙදිග භාෂාවන් ගණනාවක හසල දැනුමක් ඇති මහා සාහිත්‍යවේදියෙකි. මා රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ උගනිමින් සිටියදී, එවකට විදුහල්පති එච්.ඩී. සුගතපාල මහත්මාගේ මඟපෙන්වීම යටතේ සංගීත විෂය ධාරාව උගැන්වීම සඳහා අමරදේව මාස්ටර් පැමිණි අතර, එතුමාගෙන් සංගීතය ඉගෙනීමේ දුලබ වරම මට ද හිමි විය. එතුමාගෙන් ගායනය ඉගෙනගත් අසාර්ථකම ගෝලයන් අතර මම ද වූයෙමි.

    පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් ශෝකයට පත් දයාබර බිරිඳ විමලා අමරදේව මහත්මිය, දූ දරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් වෙත මාගේ සාතිශය සංවේගය පළකරමි. අප මහා ගාන්ධර්වයාණන් හට සමස්ත ජනතාව වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පුදකරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

     

    රනිල් වික්‍රමසිංහ

    අග්‍රාමාත්‍ය

    2016 නොවැම්බර් 03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya