ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පණ්ඩිත් අමරදේවයන් ජාතියේ පිනට පහළ වූ පුද්ගලයෙක්- අගමැති

    නොවැම්බර් 07, 2016

    පණ්ඩිත් අමරදේවයන්ට පත්ම ශ්‍රී ගෞරව නාමය ඉන්දියාවෙන් ලබා දුන්න අතර කලාකීර්ති, දේශමාන්‍ය ‍ගෞරව නාම දෙක ශ්‍රී ලංකාවෙන් එතුමාට හිමි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අභාවප‍්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අවමංගල උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පසුගිය 5 වැනි දා පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැති අතර එම අවමංගල උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    එළිසබත් මහ රැජිනගේ ආරාධනාවෙන් මාලදිවයින ජාතික ගීය ගායනය කිරීමේ ගෞරවය අමරදේවයන්ට හිමි වන බව පෙන්වා දුන් අගමැතිවරයා එය අපේ රටට ලැබුණු විශාල කීර්තියක් බවත් පණ්ඩිත් අමරදේවයන්ගේ පවුලේ පිරිස රට වාසීන් සමඟත් විදේශවල සිටින පිරිස් අප්‍රමාණව කණගාටුවට පත්ව සිටින බවත් සඳහන් කළේය.

     

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

     

    "ඩබ්ලිව්.ඩී අමරදේව මැතිතුමා ජාතික වස්තුවක්. එතුමා ගැන සිදු කළ යුතු විග්‍රයන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ කතාවේදී සඳහන් කළා. මාධ්‍ය මඟින් ඊයේ සහ අද ප්‍රකාශයට පත් කළා. ඒ නිසා එතුමා හමුවූ අවස්ථාවන් පිළිබඳ සිහිපත් කිරීම මෙය අවස්ථාවක් කර ගන්නවා.

    රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ සංගීතය සහ නැටුම් ඉගැන්වීම සඳහා එවක මුල්ගුරු නවමඟ කර්තෘ එච්.ඩී සුගතපාල මහතා විසින් අපට ඩබ්ලිව්.ඩී අමරදේවයන් සහ අයලීන් සිරිවර්ධන , බැසිල් මිහිරිපැන්න ලබා දුන්නා. එදා අමරදේව මැතිතුමා කවුරුන්දැයි කියා අපි දැන සිටියේ නැහැ. රේඩියෝ සිලෝන් එකේ සිංදු කියන කෙනා අපිට සංගීතය ඉගැන්වීමට පැමිණ සිටින බව මුල්ගුරුතුමා කියා සිටියා. ඒ අනුව මමත්, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් සහ අනුර බණ්ඩාරනායක මැතිතුමත් සංගීතය ඉගෙන ගන්න ඒ මහතා ළඟට ගියා. ඇත්ත වශයෙන්ම අපි තුන්දෙනාට සංගීතය ඉගැන්වීමට භාර අවස්ථාව එතුමාගේ ජීවිතේ අසාර්ථකම අවස්ථාවක්, උත්සාහයක් බව මගේ විශ්වාසයයි. සංගීතයේ මූලික කරුණු පිළිබඳ අපිට එතුමාගෙන් ඉගෙන ගැනීමට, දැනුම ලබා ගැනීමට හැකිවුණා.

    පසුව අමරදේවයන් මට මුණගැසුණේ හැටේ දශකයේයි. මගේ මව සහායදුන් ක්‍රියා කළ සිංහල සංස්කෘතික ආයතනයේදී එදිවීර සරත්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති මහත්වරු හමු වන අවස්ථාවේදී අමරදේව මහතාද මට නැවත මුණගැසුණා. රාජකීය විද්‍යාලයේදී මම සිංදු ඉගෙන ගෙන තිබෙනවා. මාව මතකැදැයි එම අවස්ථාවේ මම අසා සිටියා. එසේම සරසවි විත්‍රපට උත්සවයන් පැවැති අවස්ථාවන්හිදී එතුමා සංගීතය සකස් කළ නිසා එහිදීද එතුමා නැවත හමු වුණා. ඩබ්ලිව්.ඩී අමර දේවයන් මම සලකන්නේ නවීන නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල කලාව බිහිකිරිමට ඉදිරිපත්වූ පතාක යෝධයෙක් ලෙසයි.

    දේවසූරියසේන මහතාගේ ආරම්භයේ සිට අපේ රටේ කලාව සකස් කළ අපේ රටට අන්‍යන්‍යතාව ලබා දුන් බොහෝ දෙනෙක් ඉන්නවා. සංගීතය සහභාගී වෙන්න කියා අනුබල දුන්නේ චිත්‍රසේන මහතා සුනිල් ශාන්ත මහතා සහ හිටපු ඇමැති ඒ.ජේ රණසිංහ මහත්වරුයි. මට දැනෙන ලෙස එතුමා අපේ සිංහල සංගීතය නවීකරණය කළා. අපේ ගැමි සංගීතය නවීන සංගීතයට ඇතුළත් කර දුන්නා.

    එය එතුමාගේ විශිෂ්ට කාර්යයක් ලෙස මම දකිනවා. අපි ආණ්ඩු හදා හැත්තෑව දශකයේ එතුමාව නැවත හමුවෙන අවස්ථාව වන විට එතුමා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. සංදර්ශන මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය මඟින් එතුමා ප්‍රසිද්ධිය ලබා තිබුණා. අමරදේවයන් මට සිහිපත් වන්නේ නවීන මාධ්‍ය යෙන් බිහිවූ සංගීතඥයෙක් ලෙසයි.

    එතුමා මුලින්ම ප්‍රසිද්ධියට පත්වු‍‍‍‍ණේ ගුවන් විදුලිය හරහායි. අපි රේඩියෝ සිලෝන් එකේ සිංදු කියන කෙනා ලෙස එතුමා අපි අතරට පැමිණියා. පසුව කැසට් පටි අතරින් එතුමා අපි අතරට පැමිණියා. අපි රූපවාහිනි සේවය ඉදිරිපත් කළ පසු අමරදේවයන්ට එමඟින් විශාල ඉල්ලුමක් ඇති වුණා. එතුමාගේ කටහඬට සවන්දීම වෙනුවට එතුමාගේ රූපය නැරඹීමේ අවස්ථාව අපිට ලැබුණා. තාක්ෂණය එතැනින් නිමා වුණේ නැහැ. සී.ඩී තැටි යන්ත්‍ර මඟින් නිකුත් වුණා. අන්තිමට අන්තර්ජාලය නිසා යූ ටියුබ් එක හරහා නැරඹීමේ අවස්ථාව හිමි වුණා. දිනයේ කටයුතු නිමවා රාත්‍රි නිදහසේ සිටන අවස්ථාවන්හිදී අයිපෑඩ් හරහා අමරදේවයන්ට සවන්දීමේ හැකියාව මටත් උදාවුණා.

    නවීන තාක්ෂණයට කලාවට බිහිවූ කලාකරුවෙක්, ගායකයෙක් ලෙස එතුමා හඳුන්වා දීමේ හැකියාව තිබෙනවා. එතුමාගේ මඟ පෙන්වීම යටතේ අද බොහෝ තරුණ පිරිස් ඉදිරියට පැමිණ සිටිනවා. එතුමා අපේ ගැමි ගීත නවීන සංගීත ඇතුළත් කළා පමණක් නොව නවීන තාක්ෂණයට ඇතුළ් කර ඒ ඔස්සේ ගමන් කර තිබෙනවා. යූ ටියුබ් එකේ ගායකයන් අතර අමරදේවයන්ට සුවිශේෂි තැනක් හිමි වී තිබෙනවා.

    එතුමා අපිට අහිමි වුවත් එතුමාගේ සංගීතය තාක්ෂණය නිසා අපිට ලබා ගැනීමේ හැකියාව උදා වී තිබෙනවා. එය අපේ රටට සීමා වෙලා නැහැ. ලෝකය පුරා ගමන් කර තිබෙනවා. ඕනෑම වෙලාවක ලෝකයේ කොතැනක සිට හෝ සවන් දීමේ හැකියාව තිබෙනවා. ඒ ඉතිහාසය, ඒ වැදගත්කම සේවය අපිට වැටහෙනවා.

    මේ රටේ ලාංකීය කලාව, සංගීතය, විත්‍රපට, නාට්‍ය, චිත්‍ර දියුණු කිරීම දේවසූරියසේන මහතා සමඟින් ආරම්භ කර විශාල පිරිසක් මට නම් කරන්න පුළුවන්. නමුත් අද ජීවතුන් අතර සිටින්නේ ඉන් සුළු දෙනෙක් පමණයි. අමරදේවයන්ගේ වෙන්වීම ඒ අතරින් තවත් යෝධයෙක් අපිට අහිමි වීමක් ලෙස හැඳින්විය හැකියි. සුනිල් ආරියරත්නයන් වැනි සියලු දෙනා අපේ රටට කළ සේවය සුළුපටු නැහැ. ආනන්ද කුමාරසාමි මහතා මධ්‍ය කාලීන සිංහල කලාව අපිට දැනුන් දුන් ආකාරය සිහිපත් කළ යුතුයි. එහි සිටි පිරිස අතරින් අමරදේවයන්ද අද අපිට අහිමි වී සිටිනවා. අමරදේවයන්ගේ මේ අභාවය පිළිබඳ අපේ හෘදයංගම කණගාටුව ප්‍රකාශ කරනවා. එතුමා ජාතික වස්තුවක්. අපේ රටට අසීරු අවස්ථාවලදී විශාල ශක්තියක් දුන් රට ඉදිරියට ගෙන යෑමට විශාල ශක්තියක් වූ අමරදේවයන් සිහිපත් කරනවා.

    පැවැදි අනුශාසනාව සිදු කළ කෝට්ටේ කළ්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ මෙසේ පැවසූහ.

    වසර අසූඅටක් පමණ කාලයක් අප අතර ජීවත්ව සිටි අමරදේව ශ්‍රීමතාණන් සංගීතය ස්වකීය ජීවිතය කර ගත් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් අප අතරින් සඳහට වෙන්ව යන අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. එතුමාට අතිශය සුදුසු නාමය අමරදේව යන්නයි. එම නාමය තැබුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නම් ශ්‍රේෂ්ඨයායි. දේශීය හා විදේශීය වශයෙන් සම්මාන රැසක් එතුමාට හිමි වී තිබෙනවා.

    පත්මශ්‍රී ගෞරව නාමය ඉන්දියාවෙන් ලබා දුන්නා. කලාකීර්ති, දේශමාන්‍ය ‍ගෞරව නාම දෙක ශ්‍රී ලංකාවෙන් එතුමාට හිමි වුණා. එළිසබත් මහ රැජිනගේ ආරාධනාවෙන් මාලදිවයින ජාතික ගීය ගායනය කිරීමේ ගෞරවය අමරදේවයන්ට හිමි වෙනවා. එය අපේ රටට ලැබුණු විශාල කීර්තියක්. පණ්ඩිත් අමරදේවයන්ගේ පවුලේ පිරිස රට වාසීන් සමඟත් විදේශවල සිටින පිරිස් අප්‍රමාණව කණගාටුවට පත්ව සිටිනවා.

    හෙළයේ මහා ගාන්ධර්වයාණන් යන විරුධාවලිය එතුමා ලබා සිටියා. මේ අවස්ථාව මේ රටටම ශෝකයට පත් අවස්ථාවක්. ජාතියේ පිනට පහළ වූ පුද්ගලයෙක්. එතුමාගේ වියෝවෙන් අපේ රටේ සංගීතයේ එක් යුගයක් නිමා වූ බව සඳහන් කළ හැකියි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. පණ ඇති නැති සියල්ල කැඩී බිදී යන ලෝකයක අපි ජීවත් වෙනවා. අමරදේවයන් ගැයූ පින්කෙත රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya