ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අමාත්‍ය රාජා සමරනායක මහතාට උපහාර පිදීම ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 01, 2016

    අද ලෝකයේ තිබෙන්නේ රජුන්ගේ රාජ්‍ය පාලනයක් නොව නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බවත් ඒ තුළ නායකත්වය ගන්නා දේශපාලනඥයින් ද සෑමවිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගති ලක්ෂණවලින් සමන්විත විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    හිටපු අමාත්‍ය රාජා සමරනායක මහතාට උපහාර පිදීම වෙනුවෙන් ඊයේ (30) පස්වරුවේ බණ්ඩාරගම මෛතී‍්‍ර ශාලාවේ පැවති උපහාර උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

     

    බලය සමග දුෂණය අත්වැල් බැඳගෙන පැමිණිය ද ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වන්නේ දූෂණයෙන් තොර පරිත්‍යාගශීලි දේශපාලනඥයින් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා හිටපු අමාත්‍ය රාජා සමරනායක මහතා ඊට කදිම නිදසුනක් බව ද කියා සිටියේය.

     

    මහජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ රාජා සමරනායක මහතා වැනි පරමාදර්ශී දේශපාලන චරිත උපහාරයට ලක් කිරීම තුළින් රජය අපේක්ෂා කරන්නේ එම චරිතවලට ගරු කිරීම මෙන්ම වත්මන් දේශපාලනඥයින්ට එම චරිත තුළින් ලබාගත හැකි ආදර්ශයන් සිහිපත් කිරීම බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    දූෂණයෙන් තොර අවංක, කාර්යක්ෂම සේවයක නිරත වූ ආදර්ශවත් ජන නායකයෙක් වන රාජා සමරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසුනේ දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගේ ඇරයුමෙනි.

     

    1977 වසරේ බණ්ඩාරගම ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරගවැදුන ඒ මහතා ඡන්ද 28,097 ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත් විය.

     

    කර්මාන්ත සහ තාක්ෂණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වූ ඒ මහතා 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දි මනාප ඡන්ද 36,150 ක් ලබා යළි පාර්ලිමේන්තුවට තේරි පත් විය.

     

    අනතුරුව වෙළෙද රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වූ රාජා සමරනායක මහතා පසුව අපනයන සංවර්ධන අමාත්‍ය ධූරයට පත් විය.

     

    අධ්‍යාපන, වාරිමාර්ග, විදුලි කර්මාන්ත ආදී ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ බණ්ඩාරගම අද යුගයට ගැලපෙන නවීන නගරයක් බවට පත් කිරීමේ යෝධ ව්‍යායාමයේ පුරෝගාමීයා වන ඔහු බණ්ඩාරගමට අංගසම්පූර්ණ මධ්‍ය මහා විද්‍යාලයක් ලබාදීම, පැවති මාතෘ නිවාසය දිසා රෝහලක් බවට පත් කිරීම, නවීන මං මාවත්, සතොස අලෙවිහල් ඉදිකිරීම සහ නිවාස 1500 කට අධික සංඛ්‍යාවක් ඉදිකරමින් නිවාස සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීමට ද මුල් විය.

     

    මහත්මා දේශපාලනයේ නිරත වූ රාජා සමරනායක මහතා තමාට පරම්පරාවෙන් හිමිවූ ඉඩකඩම්, දේපළ පවා රජයට පවරා දී ඒවායේ පාසැල්, සතොස අලෙවිහල් වැනි ජනතා අවශ්‍යතා සපුරා දෙන්නට අවැසි ආයතන බිහි කළ මානවවාදී නායකයෙකි.

     

    රාජා සමරනායක මැතිතුමා වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ගරු කථානායක කරූ ජයසූරිය, අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද රාජා සමරනායක මහතාගේ පවුලේ සාමාජිකයින් සහ ප‍්‍රදේශවාසී ජනතාව උපහාර උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya