ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සියලු ජනකොටස් අතර සමඟිය, මිත්‍රත්වය, සහයෝගීතාවය ගොඩනඟන ස්ථීරසාර වැඩපිළිවෙලක් සඳහා සියලු දෙනා එකතු වීම අවශ්‍යයි

    දෙසැම්බර් 01, 2016

    රට කඩන්න හදනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා.හෙට උපදින දරුවන්ට හොඳ රටක ජීවත් වෙන්න,මේ රටේ සියලු දෙනට සාමයෙන් සිටිය හැකි සියලු ජනකොටස් අතරේ සමඟිය මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනැඟෙන්න, නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්නට ස්ථීරසාර වූ පැහැදිළි වැඩපිළිවෙලක් සඳහා සියලු දෙනා එකතු වීමේ අවශ්‍යතාවය පවතිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (01) පාර්ලිමේන්තුවේ දී
    විවාදයට ගත් අතර එයට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.

     

    ඉතාමත්ම සතුටු වෙනවා, 2017 අයවැය කාරක සභ අවස්ථාවේ දී කරන ලද සංවාද සමඟ අද දවසේ තිබෙන්නේ අපේ රටේ අනාගතයට ඉතාම වැදගත්, මේ රටේ අනාගත ඉරණම, ජාතියේ ඉරණම විසඳන විෂය ක්ෂේත්‍රය පිළිබඳව අද සාකච්ඡාවට ලක්වෙනවා. ජාතික සමඟිය සංහිදියාව නොමැති රටක ජාතීන් අතර සමඟියක් ගොඩනැගීමට වැඩපිළිවෙලක් නොමැතිනම් එයත් බරපතල ජාතික ආපදාවක්. එය ඛේදවාචකයක්. බරපතල ශෝකාන්තයක්. ලෝකයේ රටවල් අද දවස ගත්තත් භාෂා ප්‍රශ්නය, ආගම් ප්‍රශ්නය, කුල ගෝත්‍ර ප්‍රශ්නය, පිළිබඳව අධි තාක්ෂණික ලෝකයේ මහා සංවර්ධනයක් තිබෙන රටවල් මේ ප්‍රශ්න එලෙසම තිබෙනවා.

     

    අපි අවුරුදු සිය දහස් ගණනකට එහා මානව සමාජය මානව ඉතිහාසය ගත් විට ඒ තුළත් භාෂාව ආගම, කුලය විවිධ සංස්කෘතික තත්ත්වයන් අනුව ඇතිවන ගැටුම් යුද, ඉතිහාසයේ ලක්ෂ ගණන් ජීවිත අහිමි වූ රටවල් මහපොළොව රුධිරයෙන් වෙලාගත්  මහා ශෝකාන්ත යුගයන්.

     

    රටක් විදියට කතා කරන විට අපේ රටේ තිබෙන ප්‍රශ්නය මේ දවසක දෙකක ප්‍රශ්නයක් නොවන බව සෑම කෙනෙක් ම දන්නවා. 1930 දසකය 40 දසකය 50 දසකයේ සිට,80 දසකය දක්වා,ගෙවී ගිය දසක හතක අටක කාලය සිහිපත් කළොත්, සිංහල, මුස්ලිම් කෝළහල ගැටුම්, සිංහල දමිළ කෝළහල ගැටුම්,අපේ ඉතිහාසයේ මතක සටහන් තුළ තිබෙනවා. ඒ තුළ ලබාගත් අත්දැකීම් තිබෙනවා. ආර්ථික හා  සහ ආර්ථික විනාශයන්ටත් වඩා බරපතල ලෙස ජනතාව තුළ සමඟිය බිඳ වැටීම, සහයෝගීතාවය නොමැතිවීම,සැකය ඇතිවීම,බිය ඇති වීම,නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්,සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව තිබෙන්නා වූ දෙදරීම් සමඟ සමාජය සැමවිටම පුපුරා යනවා.

     

    1930 දසකයේ සිංහල,මුස්ලිම් කෝළහලය,අපේ රටේ ඉතිහාසයේ මහා ඛේදවාචකයක්. 40 දසකයේ සිට මෙහාට ගත හොත් සිංහල,දමිළ කෝළහල සමඟ ඇති වූ උතුරේ නායකයින්ගේ ඉල්ලීම් සහ නිදහසින් පසු ලංකාවේ බලයට පත් වූ සෑම නායකයෙකුම බලයට පත් වීම සඳහා, මේ ප්‍රශ්නය යොදා ගැනීම, මේ කරුණු ගැන අත් දැකීම් රාශියක් තිබෙනවා. බණ්ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුම කරන්න දුන්නේ නෑ. රොස්මීඩ් පෙදෙස එතුමාගේ නිවස ඉදිරිපිට දී අරගල කරලා, එතුමාගේ සාක්කුවේ තිබුණු ලයිටරය අරගෙන ගිවිසුම ගිනිතිබ්බා. 1965න් පස්සේ ඩඩ්ලි, චෙල්වනායගම ගිවිසුම් පිළිබඳව ඒ ආකාරයෙන් ම විරෝධතා ඇති වුණා. ගැටුම් වැඩි වුණා. උතුරේ සංවර්ධනය කඩා වැටුනා. නැඟෙනහිර සංවර්ධනය බිඳ වැටුණා.නිදහසින් පසු ලංකාවේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම ඇමැති මණ්ඩල තෝරා පත් කර ගන්නා විට උතුරට ඇමැතිකම් කීයක් දුන්නාද? නැඟෙනහිරට ඇමැතිකම් කීයක් දුන්නාද? ප්‍රශ්නයම සාධකයක් වෙනවා, සංවර්ධනය ඒ ප්‍රදේශ වලට සංවර්ධනය කෙසේද සිදු වුණේ යන්නට.

     

    අපි රටක් ලෙස කතාකරන විට අපේ රටේ තිබෙන ප්‍රශ්නය දවසක් දෙකක ප්‍රශ්නයක් නොවන බව දන්නවා.ඒ නිසා ප්‍රශ්න උග්‍ර වෙලා තමයි 80 දසකයේ දී රට තුළ ප්‍රශ්න රාශියක් ඇති වුණේ. යාපනය න්ගරාධිපති ඝාතනයත්, 83 කළු ජූලියත් මේ රට ජාතියේ අවසනාවන්ත තත්ත්වය, ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ යුද්ධය නිර්මාණය වුනා. අපි ඒවාට මුහුණ දී තිබෙනවා. මම මිනී සියගණනක් උස්සලා තිබෙනවා.

     

    මේ ශෝචනීය සහ කටුක අත්දැකීම් අපි විඳලා තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, එදා ඇති වූ තත්ත්වයක් සමඟ ඉන්දු ලංකා ගිවිසුම එතුමාට ගේන්න සිදු වුණා. මේරටේ අය මේ ප්‍රශ්න ඉතා සරළ හා පහසු ප්‍රශ්න ලෙස කතා කරනවා. බොහෝ විට අපහාසයට හා උපහාසයට ලක් කරනවා.අපි දෙන්න හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසඳුම පිළිබඳව හාස්‍ය ජනක හා අපහාසයෙන් ඊට අගෞරව කරමින් කතා කරන්නෙත් මේ රටේ අනාගතයේ නැවත ලේ වැගිරීමක් අවශ්‍ය අය කියලා කියන්නට ඕන.

     

    ඉන්දු ලංකා ගිවිසුම ගෙනා වෙලාවේ එදා රට විරුද්ධ වුණා. ඇදිරිනීතිය දාලා, ඉන්දු ලංකා ගිවිසුම අත්සන කළා. පළාත් සභා ඇති වුණා. ප්‍රශ්නයට සැබෑ විසඳුමක් නෑ කියන ප්‍රශ්නය සමඟ ජාතික ප්‍රශ්නයක් වුණා මෙන් ම බරපතල ලෙස ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වුණා. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් රටින් පළා ගියා. පිරිසක් කැමැත්තෙන් ගියා. මෙය රටක් ලෙස අගෞර්වයක්.අන්තර්ජාතික සමුළු ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විවිධ ජාත්‍යන්තර සංවිධාන ඉදිරියට ගිහිල්ලා,කතා කරන විට අපි පිළිගන්නට ඕන අපි ලැජ්ජා සහගටහ් විය යුතුයි.

     

    යුද්ධය සමඟ තිබෙන කටුක අත්දැකීම් සමඟ ඇති වූ තත්ත්වයන් විග්‍රහකරන්න අවශ්‍යවන්නේ නෑ. මම එල්.ටී.ටී.ඊ ප්‍රහාර පහකට ලක් වූ කෙනෙක්. ඒ සෑම ත්‍රස්තවාදියෙක් ම මිය ගියා. මේ රටේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සිට දේශපාලඥයින්, ආරක්ෂක ප්‍රධානීන්, මේ රටේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් ජිවිත පරිත්‍යාග කර යුද්ධය භෞතිකව පරාජය කළා. වෙඩි හඬ පරාජය කළා.

     

    ප්‍රශ්නය සැබෑ ලෙස එලෙස විසඳුනේ නෑ කියලා දන්නවා. යුද්ධයෙන්, වෙඩි හඬින් යුද්ධය පරාජය කළත් රට බෙදීම පිළිබඳව මතය පරාජය කරන්න තවම හැකි වී නෑ. මේ රටේ සෑබෑ සාමයක් ඇති වුනායැයි කියන, කතාවට මා එකඟ වෙන්නේ නෑ. සැබෑ සාමයක් පිළිබඳ ප්‍රශ්නයට සැබෑ ලෙස හදවතට එකඟව කතා කළ හැකි වෙන්නේ, ජාතික වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් මේ රට බෙදීම පිළිබඳව පරණි ක්‍රමයට ඊළම පිළිබඳ කතා කරන මතය පරජය කිරීම තුළයි.

     

    මේ අත්දැකීම් සමඟ ප්‍රශ්නය තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. මේ සඳහා තිබෙන විසඳුම්වලදි අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කරමින් යම් සාර්ථක ප්‍රවේශයක් තිබෙනවා. දේශපාලන විසඳුමක් සඳහා ගන්නා වූ උත්සහයේ දී ඒ සියලු අවස්ථා සිහිපත් කරමින් අදත් පිරිසක් කරන සාකච්ඡා අඩු තක්සේරුවකට දාලා,රට බෙදන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා කියල චෝදනා කරනවා.

     

    මේ රටේ සිංහල ජනතාව තුළ, ඉතාම වැරදි මතයක් ගොඩනගනවා. මහා සංඝරත්නයට වැරදි මතයන් ගොඩනගනවා. රටෙන් පිට සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්තර් ජාලය  හරහා වෙබ් අඩවි හරහා වැරදි තොරතුරු ලබාදෙනවා.  

     

    මේ තුළ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේ තුළ බලාපොරොත්තු වන්නේ, අතීතයේ ඇතැම් නායකයින්  බලය සඳහා මේ ප්‍රශ්නය පාවිච්චි කළා වගේම,ඇතැම් නායකයින් බලය ලබාගැනීම සඳහා ප්‍රශ්නයෙන් පැන ගියා වගේම අතැම් නායකයින් බලය ලබාගැනීම සඳහා ප්‍රශ්නය පාවිච්චි කළා වගේම මීට විරුද්ධ පිරිස් අනාගත බලය සඳහා අවස්ථාවාදී ලෙස පටු දේශපාලන සීමාවන් තුළ කිසිදු සාක්ෂියක් නොමැතිව ප්‍රශ්නයට සාධාරන විසඳුමක් ලබාදෙන්නේ නැතිව පවිත්‍ර චේතනාවෙන්  මුහුණ දෙන්නේ නැතිව,අනාගත බලය පිළිබඳව උදාන වක්‍ය තියන්න පටන් ගෙන තිබෙනවා.

     

    නමුත් ඒ සියලු දෙනා මේ රටේ අනගතයේ ඇතිවන තත්ත්වයන්ට වගකීම භාරගත යුතු වෙනවා. අපි ඉතාම පැහැදිළිව මේ ප්‍රශ්නය විසඳීමට ස්ථීර සාර විසඳුමක් ලෙස යුදමය ලෙස වෙඩි හඩින් පරාජය වූ ප්‍රශ්නය ආධ්‍යාත්මික වශයෙන් මතවාදී ලෙස ප්‍රශ්නය විසදීම පිළිබඳව දේශපාලන විසඳුමක් එක්ක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ.මේ ප්‍රශ්නයේ දී අවංකවම රජයක් ලෙස කටයුතු කරනවා.සියලු පාර්ශවයන්ගේ අවංක කැප වීම අවශ්‍ය වෙනවා. අප විසින් දෙන්නා වූ විසඳුම සෑම කෙනෙකුටම සාධාරණ විසඳුමක් විය යුතුයි. ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විසඳුම ඉතා පැහැදිළි ලෙස මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට පිළිගත හැකි විසඳුමක් විය යුතුයි.

     

    පාර්ලිමේන්තුවේ සම්මත කරලා ජනමත් විචාරයකට යන්න සිදු වුණොත් ප්‍රධාන වශයෙන් ම ඒ ජනමත විචාරණය ජයග්‍රහනය කරන්න, රටේ මේ පිළිබඳව පොදු මතයක් ගොඩනැඟීම ඉතාම වැදගත්. මේ තුළ පක්ෂ භේදයෙන්, ආගම් භේදයෙන්,භාෂා භේදයෙන්, පළාත් භේදයෙන් කටයුතු කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක් නොවන බව අතීත අත්දැකීම් අනුව තේරුම් ගැනීම ඉතාම වැදගත්.මේ ප්‍රශ්නය සැමවිටම කතා කරන සියලු පාර්ශව ප්‍රශ්නයට අදාළව කතා කරනව වගේම,ප්‍රශ්නයට විසඳුම ලබගැනීම සඳහා නම්‍යශීලී විය යුතුයි.

     

    ප්‍රශ්නයට විසඳුම ලබාගැනීමට අපි සාර්ථක විසඳුමකට යන්න ඕන.මේ ගැන කතා කරන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්.වීරයෝ වෙන්න පුළුවන්.දේශප්‍රේමියෝ වෙන්න පුළුවන්. ඊනියා දේශප්‍රේමීන් සහ ඊනියා වීරයින් මේ රටේ පනහේ දසකය, හැටේ දහසකය හැත්තෑවේ දසකය,පුරා කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි,අවසානයේ බරපතල ත්‍රස්තවාදී යුද්ධයකට මේ රටට මුහුණ දෙන්නට සිද්ධ වුණේ.

     

    අපිට දේශපාලන  වීරයින්ගේ අවශ්‍යතාවක් නොවේ අද තිබෙන්නේ, අද තිබෙන්නේ සාධාරණ ලෙස ප්‍රශ්නයට විසඳුම දෙන්නා වූ වීරයින් අපිට අවශ්‍ය වෙන්නේ. දේශප්‍රේමීත්වය, මනව වාදය කියන්නේ,යහපත් සමාජයක් ගොඩනැගීම කියන්නේ,නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා කියන්නේ,සාධාරණ සමාජයක් සඳහා සෑම කෙනෙක් ම කටයුතු කිරීමයි.

     

    අනාගත බලය ගැන සිතා කඩකප්පල් කරනවා නම්, එසේ බලාපොරොත්තු තබන අයට මේ රටේ අනාගත පාලනයක් ගෙන යෑමේ හැකියාවක් ලැබෙන්නෙත් නෑ. අනාගතයේ ඡන්දය බලාගෙන, අනාගත බලය බලාගෙන මේ ප්‍රශ්නය විසඳීමට යන ඉතාම පටු චේතනාවන් එක්කයි පසුගිය දසක කීපයම  මේ රට බරපතල යුදමය තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණේ.රට කඩන්නේ නැති, රට කැඩෙන්නේ නැති,රටේ බෙදීම් ඇතිවෙන්නේ නැති සෑම කෙනෙකුටම පිළිගත හැකි විසඳුමකට අපි යා යුතු වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල කළ ප්‍රකාශ ගැන කනගාටු වෙනවා. රට කඩන්න හදනවා කියනවා. මේ ප්‍රශ්නය බලය සිටින විට එක ආකරයකටත් බලය නොමැති විට නැවත බලයට ඒමට තවත් ආකාරයකටත් ප්‍රශ්නය පාවිච්චි කරනවා නම්, ඒක ජාතියේ අවාසනාවක්. ඉතාම කාරුණික ඉල්ලීමක් කරනවා,උතතරීතර ගරු සභාව නියෝජනය කරන, සියලු දේශපාලන පක්ෂවලින් මේ රටේ උගතුන් බුද්ධිමතුන්, නීතිවේදීන්, රට ගැන ආදරයක් කැක්කුමක් තිබෙන අනගත පරපුර ගැන දැඩි අධිෂ්ඨාන වුවමනාවක් තිබෙන සෑම කෙනෙක් ම මේ උතුම් මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ඨ රාජ්‍යයක් ලෙස ගෙන යන්නට මේ රටේ ස්ථීර සාමයක් ඇති වන්නට මේ රට බෙදෙන්නේ නැති තත්ත්වයට එන්නට නැවත යුද්ධයක් ඇති නොවන්නට කටයුතු කරන්නට මේ සඳහා සෑම කෙනෙක් ම එකට එකතු වෙලා,රට වෙනුවෙන් එක මේසයක වාඩි වෙලා,එකඟත්වයකට ඇවිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න සහයෝගය දෙන්න කියලා,ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

     

    සුනාමි ව්‍යවසනය විසදන්න, එදා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා. සුනාමි සහන මණ්ඩලය පාර්ලිමේන්තුවට ගෙනාවා. එදා ජනාධිපතිතුමිය ඉදිරිපත් කළා, කවුරුත් කැමැති වුණේ නෑ. මම ඉදිරිපත් කරන කොට විශාල ලෙස මා වටකරගෙන කෑ ගැහුවා. මේ ප්‍රශ්නය බලය බෙදීම සම්බන්ධයෙන් සාධාරණත්වයකට යා යුතුයි කියා වැඩ කළ කෙනෙක්.අපිට දේශද්‍රෝහීන් වෙන්නට වුවමනාවක් නෑ.දේශප්‍රේමීන් වන සෑම කෙනෙක් ම සාධාරණ විසඳුමක් සඳහා සාකච්ඡා මඟින් යන්නට ඕන.

     

    19 ව්‍යවස්ථාවේ ජතික සංහිදියා නමින් අලුත් අමාත්‍යාංශයක් හැදුවේ ඒ නිසයි. මේ සංහිදියා පිළිවෙත ශක්තිමත් කරනවිට සෑම කෙනෙක්ම කටයුතු කිරීමේ අවශ්‍යතාවයි.විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමට ගෞරව කරනවා. මේ ප්‍රශ්නය විසඳීමට සිටින උතුරේ හොඳම නායකයා අපි සමඟ ඉන්නේ. ප්‍රශ්නය අපි සාකච්ඡා කර විසදීමට අවශ්‍ය වෙනවා.ප්‍රශ්නය කල් දැමීම ජාතියේ අවාසනාවක්. ප්‍රශ්නයට විසදුම් නොදී එය කඩාකප්පල් කිරීම, හෙට උපදින දරුවන්ට කරන  ජාතික අපරාධයක්. ඒ නිසා වේදිකා වීරයෝ වෙන්නට පුළුවන්.ඊනිය දේශප්‍රේමීන් වෙන්නට පුළුවන්,අනාගත බලලෝභයෙන් කතා කරන්නට පුළුවන්, ප්‍රශ්නය විසඳීමට තිබෙන ජාතික වගකීම අවබෝධ කරගන්නට අවශ්‍යයි.ඒ දැනුම ඥානය පහළ වේව කියා ප්‍රාර්ථනා කරනවා.

     

    උතුරේ ප්‍රශ්නය පහැදිළිවම උතුරේ ජනතාව සමඟ සාකච්ඡා කරලා, තේරුම් ගන්න, කී දෙනෙක් කොළඹ නගරයේ නායකයෝ කටයුතු කරනවා ද? කොළඹ ඉදලා, දකුණේ ඉදලා, කතා කරන ඊනියා දේශප්‍රේමියෝ අවුරුදු 27ක් කඳවුරක දාලා තිබුණොත් ඒ කඳවුරේ ඉන්න ගමන් හිතෙන්නේ තුවක්කු ගන්න විතර ද? උතුරේ ජනතාවගේ ප්‍රශ්නය විසදන්න යනකොට ප්‍රවෘත්ති සාකච්ඡා තියලා, මහ පරට බැහැලා, බෝඩ් උස්සගෙන කෑ ගහනවා,හමුදවට අයිති ඉඩම් අරගෙන බාරදෙනවා කියලා.උතුරේ ජනතාව ඉල්ලන්නේ උතුරේ ජනතාවගේ ඉඩම්.පාරම්පරික ඉඩම් ඉල්ලන්නේ.

     

    අසත්‍ය ප්‍රචාර කරන්නේ නැතිව,ජනතාව නොමඟ යවන්නේ නැතිව, වැරදි ආකාරයට මේ ප්‍රශ්නය විග්‍රහ කරන්නේ නැතිව වෙනස් දේ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන්නේ නැතිව සාධාරණ ලෙස සත්ය යුක්ති සහගතව මේ ප්‍රශ්නය සමාජයට ක වැද්දීමයි අවශ්‍ය වන්නේ. රට කඩන්න හදනව කියන එක ප්‍රතික්ෂේප කරනවා.හෙට උපදින දරුවන්ට හොඳ රටක ජීවත් වෙන්න,මේ රටේ සියලු දෙනට සාමයෙන් සිටිය හැකි සියලු ජනකොටස් අතරේ සමඟිය මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනැඟෙන්න, නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්නට ස්ථීරසාර වූ පැහැදිළි වැඩපිළිවෙලක් සඳහා සියලු දෙනා එකතු වීමේ අවශ්‍යතාවය පවතිනවා.

     

    මේ ගරු සභවේ හා පිට සියලු දෙනාටම ආරාධනා කරන්නේ ප්‍රශ්නයේ යථාර්ථය තෙරුම්ගෙන පෞඪ ජාතියක් ගොඩනැගීමට සියලු දෙනා එකතුවෙන්න කියා කියනවා යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya