ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    මැලේසියානු තෙදින නිල සංචාරය සාර්ථකව නිම කර ජනපති යළි දිවයිනට

    දෙසැම්බර් 18, 2016
    ශී‍්‍ර ලංකාවට ආර්ථික සහ වෙළෙඳ ප‍්‍රතිලාභ රැසක් අත්කර දෙමින් සිය තෙදින මැලේසියා නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.
     
    මැලේසියාවේ නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලාංකික රාජ්‍ය නායකයෙකුට නිල ආරාධනාවක් හිමිවූයේ වසර 19 කට පසුව වීම විශේෂත්වයක් වන අතර, ශී‍්‍ර ලංකා මැලේසියා ද්වි පාර්ශ්වික සබඳතා නව මාවතකට ගෙන එමින්, දෙරට අතර ගිවිසුම් 05 කට ද මෙම සංචාරයේදී අත්සන් තැබිණි.
     
    මැලේසියා අග‍්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා සහ ජනාධිපතිතුමා අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡා ශී‍්‍ර ලංකාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත්කරදීමට සමත් වූ අතර ආසියාවේ ප‍්‍රධාන ගනුදෙනුකරුවෙකු වන මැලේසියාවෙන් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක් ම ලබාදීමට එහිදී එකඟතාවය පළ කෙරිණි.
     
    දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමේදී ඉහළම රාජ්‍ය මට්ටමේ සිට එම කටයුතු සිදු කිරීමට ද නායකයින් සපථ වූහ.
     
    දෙරට අතර වෙළෙඳාම තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව සොයා බැලීමටත්, දෙරට අතර අධ්‍යාපන හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට මෙන්ම සංචාරක කටයුතු වර්ධනය කර ගැනීමටත් එහිදී අවධානය යොමු කෙරිණි.
     
    ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සහභාගී වූ ව්‍යාපාරික සමුළුවකට ද ජනාධිපතිතුමා එක් වූ අතර දෙරටේ ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීම සහ නව ප‍්‍රවේශයන් ඇති කර ගැනීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
     
    මැලේසියා රජ මාළිගාව වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට මැලේසියානු රජු වන සුල්තාන් මොහොමඞ් රජතුමාගෙන් ද හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
     
    ශී‍්‍ර ලංකා – මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60 ක් සපිරීමට සමගාමීව සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශී‍්‍ර ලංකාවේ නව විදේශ ප‍්‍රතිපත්තිය තුළ තවත් විශිෂ්ඨ ජයග‍්‍රහණ රාශියක් රටට අත්කර දුන් චාරිකාවක් ලෙස හැඳින්විය හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya