ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    පරිසරය රැකගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය ජයගැනීමට සූදානම් විය යුතුයි - ජනපති

    දෙසැම්බර් 20, 2016

    භූගෝලීය පිහිටීම, පාරිසරික සම්පත් සහ වැඩිවන ජනගහණය සමඟ තවත් කොතෙක් කාලයක් ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අපගේ ස්වභාවික සම්පත් භාවිතා කළ හැකිද යන්න සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    එබැවින් පරිසරය රැක ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ජය ගැනීමට අප වහා සූදානම් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (19) බණ්ඩාරනායක ජාත්යපන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අමතමිනි.

     

    ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ පිරිස් දිරිමත් කරමින් ඔවුන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කෙරෙන අතර 1990 වසරේ සිට අඛණ්ඩව මෙය සංවිධානය කෙරේ.

     

    අද ලෝකයේ සංවර්ධනය වූ රටවල ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා වැලි, ගල් සහ සිමෙන්ති භාවිතය අවම වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අප ද ක්‍රමානුකූලව එම තාක්ෂණය කරා පියමැනිය යුතු බව කියා සිටියේය.

     

    අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මුහුදු වැලි භාවිතා කිරීමට අත්දැකීම් අඩුකම සහ අවබෝධයක් නොමැතිකම නිසා මැලිකමක් දැක්වුවද මුහුදු වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රය නව හදුන්වාදීමක් නොවන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    ඉදිකිරීම් ක්ෂේත්‍රයත්, පරිසරයත්, රටේ ආර්ථික සංවර්ධනයත් එකිනෙකට බැඳී පවතින අතර අපේ රට සිංගප්පූරුවක් හෝ ජපානයක් බවට පත් කිරීමට නොව වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ පදනම සමග ස්වභාවික සම්පත රැක ගනිමින් රට ගොඩනැඟීමට කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

     

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලුදෙනාට නිදහසේ තම ව්‍යාපාරික කටයුතු කරගෙනයාමට ඇති අවස්ථාව අද රට තුළ තහවුරු කර ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    ඉදිකිරිම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    නියාමනය, ප්‍රමිතිකරණය, ධාරිතා වර්ධනය හා පහසුකම් සැපයීම මගින් ජාතික සංවර්ධන අවශ්‍යතා සපුරාලන්නාවූ කාර්යක්ෂම ඉදිකිරිම් කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදක්වා ඇත.

     

    විශිෂ්ට ඉදිකිරිම් සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුදල් ප්‍රදානයක්ද, සම්මානලාභීන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල යන මහත්ම මහත්මින් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මෙම සම්මාන උළෙලට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya