ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් අගමැති සොව පළ කරයි

    දෙසැම්බර් 29, 2016

    ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික දේශපාලනයට පිවිසි ප්‍රතිපත්තිගරුක, කීර්තිමත් දේශපාලඥයෙක් බව හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    "ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික දේශපාලනයට පිවිසි ප්‍රතිපත්තිගරුක, කීර්තිමත් දේශපාලඥයෙකි.


     
    1960 වසරේ ලංකා සම සමාජ පක්ෂයෙන් හොරණ ආසනයට තරඟ කළ වික්‍රමනායක මැතිතුමා ඉන් ජය ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස සිටිය දී මට මුලින්ම එතුමා පිළිබඳව දැනගන්නට ලැබුණේ ද එම වකවානුවේදීය. 1962 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ජාතික දේශපාලනයෙහි ක්‍රියාශීලී භුමිකාවක නිරතව සිටිය දී, 1989 වසරේ පාර්ලිමේන්තුවේදී මට එතුමා ළඟින් ඇසුරු කිරීමේ අවස්ථාව උදා විය.

     

    එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටිය දී පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ මනා අවබෝධයක් ලබා සිටි වික්‍රමනායක මැතිතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රැකගැනීමට මහත් උවමනාවෙන් කටයුතු කළ අතර, එවකට සභානායක ධූරය දරමින් සිටි මට එතුමා සමඟ ඉතා සමීපව වැඩකිරීමට අවස්ථාව ලැබීම මහත් ශක්තියක් විය.  

     

    මා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අවස්ථාවේ එතුමා විපක්ෂ නායක ලෙස ද, එතුමා අග්‍රාමාත්‍ය ධූරය දැරූ අවදියේ මා විපක්ෂ නායක ලෙස ද ආදී වශයෙන් අවස්ථා ගණනකදීම පක්ෂ දේශපාලනයෙන් බැහැරව ඉතා සුහදශීලීව රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සමඟ වැඩ කිරීමට හැකි වීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි. මේ සෑම අවස්ථාවකම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සුරකින පරිණත දේශපාලඥයෙකු ලෙස එතුමාගේ ප්‍රතිපත්තිගරුක බව විශේෂයෙන් කැපී පෙනුණි.

     

    විජය කුමාරණතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ද මහත් කැපවීමෙන් කටයුතු කළ එතුමා පක්ෂය නගාසිටුවන්නට ප්‍රබල දායකත්වයක් ලබාදුන් දේශපාලඥයෙකි. එහිදී දේශපාලන අභියෝග රැසකට මුහුණ දීමට එතුමාට සිදුවූ අතර, අවස්ථා ගණනාවකදීම පක්ෂයේ ඉල්ලීම මත මෙන්ම පක්ෂයේ අභිවෘද්ධිය උදෙසා ද තම තනතුරු අත්හරින්නට සිදුවුව ද පක්ෂයට ඇති බැඳීම කිසිදු විටෙක වෙනසක් වූයේ නැත.


     
    පාර්ලිමේන්තුවේදීත්, මගේ නිවසේදීත්, හමුවන නොයෙක් අවස්ථාවලදීත් ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම සහ රටේ අනාගතය සම්බන්ධයෙන් මා සමඟ දීර්ඝ ලෙස කතා බහ කළ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා රෝහල් ගතවීමට පෙරත් වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව මා සමඟ සාකච්ඡා කළේය. ඒ අප අතර සිදු වන අවසන් සංවාදය වනු ඇතැයි මා කිසි විටෙක අපේක්ෂා කළේ නැත.


     
    මිය යන අවස්ථාව වන විටත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස කටයුතු කරමින් සිටි එතුමා, රටේ සමාජ, දේශපාලන අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම හොරණ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් ද මහත් කැපවීමෙන් කටයුතු කළ ප්‍රදේශයේ ජනතාවගේ ආදරය, ගෞරවය දිනාගත් ජන නායකයකු වූ බව මේ මොහොතේ මහත් ගෞරවපූර්වකව සිහිපත් කරමි.  

     

    රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ අභාවයෙන් ශෝකයට පත් පුතණුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු දූ දරුවන්,  ඥාති හිත මිත්‍රාදීන් වෙත මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya