ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රට බෙදන ලියවිල්ලක් නොවෙයි - ජනපති

    ජනවාරි 01, 2017
    ඉදිරියේදී ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළ රටට අහිතකර කිසිඳු වගන්තියක් ඇතුළත් නොවන බව සඳහන් කළ ජනාධිපතිතුමා එය කිසිසේත් රට බෙදෙන ලියවිල්ලක් නොවන බව අස්ගිරි මහා නා හිමි ඉදිරියේ සපථ කළේය.
     
    යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඇතැමුන් කුමන මත පළ කළද ඒ තුළින් රටේ ඒකීය භාවයට හෝ සම්බුද්ධ ශාසනයට කිසිඳු හානියක් සිදු නොවන අතර එවන් කිසිඳු කි‍්‍රයාමාර්ගයකට තම ධුර කාලය තුළ ඉඩ නොතබන බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.
     
    වසරක් ඉක්ම ගොසින් නව වසරක් උදාවන අවස්ථාවේ ඓතිහාසික දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ඊයේ (31) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරත්න නායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක සුව ඳුක් විමසූ අතර එහිදී මේ බව ප‍්‍රකාශ කර සිටියේය.
     
    කිසිඳු අවස්ථාවක ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තොරව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොව එහි කෙටුම්පතක්වත් සැකසීමට සූදානම් නොමැති බව පැවසූ ජනාධිපතිතුමා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කිසිසේත් තනි මතයට සකස් කරන ලියවිල්ලක් නොව මහජන නියෝජිතයින්, විද්වතුන් මෙන්ම මහජනතාවගේ ද අදහස් සහ යෝජනා සැළකිල්ලට ගනිමින් සකස් කරන්නක් බව ද ප‍්‍රකාශ කළේය.
     
    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී මහජනතාවගේ අදහස් විමසීමට රජය ගත් පියවර පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් වී නොමැති බවද මෙහිදී මහා නායක හිමියන් ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන් අතර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජනතාවගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නැවතත් අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.
     
    වර්ෂාව පතා දිවයින පුරා සිදු කෙරෙන පිරිත් සජ්ඣායනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර එම ආශීර්වාදයෙන් නිසි කලට වැසි ලැබෙමින් නියං තත්ත්වය පහව යනු ඇති බවද මහා නා හිමියෝ සඳහන් කළහ.
     
    උදාවන නව වසර වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් මහා නා හිමියන් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    අනතුරුව ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපතිතුමා ආශිර්වාද ලබාගත් අතර මල්වතු මහා විහාරය වෙත ද ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත්තේය.
     
    රට දිළිදු බවින් නිදහස් කර ගනිමින් සියලු ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට 2017 වසරේ සිට ආරම්භ කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා මල්වතු මහා නා හිමියන් දැනුවත් කළ අතර පසුගිය වසර දෙක තුළ වත්මන් රජය අනුගමනය කළ මිත‍්‍රශීලි විදේශ පිළිවෙත තුළ ඒ සඳහා ලෝකයේ රටවල් රැසක අනුග‍්‍රහය ලැබී තිබෙන බවද සඳහන් කළේය.
     
    ඉදිරියේදී මතුවිය හැකි බලශක්ති අර්බුදය පිළිබඳවද මෙහිදී මහා නා හිමියන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ අතර ඒ සඳහා විසඳුම් සෙවීමට ලෝකයේ අනෙකුත් රටවල් සේම ශී‍්‍ර ලංකාවද සූදානමින් සිටින බවත්, ඒ සඳහා වැඩපිළිවෙළ රැසක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවත් ප‍්‍රකාශ කළේය.
     
    රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් රටට අවශ්‍ය සමාජයීය සහ දේශපාලන පරිවර්තනයන් රැසක් සිදු කිරීමට ඉකුත් දෙවසර තුළ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යහපාලන රජය කැපවුවද ඒ පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත්ව නොසිටීම නිසා ගැටලු මතුවන බව මෙහිදි මහා නා හිමියන් පෙන්වා දුන් අතර රජය ඉකුත් දෙවසර තුළ ඉටු කළ වැඩපිළිවෙළ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්හ.
     
    රට මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළද මහා නා හිමියන්ගේ ප‍්‍රසාදයට ලක් වූ අතර සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ සිට ඒ පිළිබඳ ජනාධිපතිතුමා කළ කැපවීම අගය කළහ.
     
    රටේ අනාගත පරපුර මත් උවදුරෙන් නිදහස් කර ගනිමින් නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැගීමට මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    උදා වන නව වසර වෙනුවෙන් මල්වතු මහා නා හිමියන්ද සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya