ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සැබෑ යථාර්ථවාදී පණිවිඩකරුවා පාසල් දරුවා - ජනපති

    ජනවාරි 20, 2017

    තිරසර සංවර්ධනයේ සමාජමය වගකීම සහ යුතුකම ඉටුකිරීමේදී සැබෑ යථාර්ථවාදී පණිවිඩකරුවා පාසල් දරුවා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ, සමාරම්භක උළෙලට ඊයේ (19) දිගන, කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    අද දවස හෙට දවස වෙනුවෙන් වහ වහා සූදානම් විය යුතු යුගයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එබැවින් අප විසින් කළ යුතු කාර්යයන් ප‍්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බවත් තිරසර සංවර්ධන අරමුණු කිසිසේත් හෙටට කල් දැමිය නොහැකි බවත් කියා සිටියේය.

    සිය සංවර්ධන කාර්යයන් තුළ ගෝලීය උෂ්ණත්වය වර්ධනය කරමින් හා වායු ගෝලය අපවිත‍්‍ර කරමින් මානව සමාජයට බරපතළම හානිය සිදු කළේ අපට අවවාද හා උපදෙස් ලබාදෙන ලෝක බලවතුන් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ස්වභාවික සහ පාරිසරික වටිනාකම් නොසලකමින් ඔවුන් කටයුතු කිරීම නිසා මිනිසා ඇතුළු සියලු සතුන්ට ජීවත්වීම පිළිබඳ බරපතළ අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බව ද කියා සිටියේය.

    පරිසර සම්පත් සුරකින රටක් බවට පත්වීමට නම් අපේ රටේ වන ඝනත්වය අවම වශයෙන් සියයට 50 ක මට්ටමකට ගෙන ආ යුතු බව ද සඳහන් කළ ජනාධිපතිතුමා අපේ රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර නොගතහොත් අපට ද හෙට දවසේ ජීවත්වීම පිළිබඳ බරපතළ අභියෝගයකට මුහුණදීමට සිදුවන බවත්, දේශපාලනඥයින්, විද්‍යාඥයින් මෙන්ම පරිසර ආරක්ෂණය නොතකා කටයුතු කළ සියලුදෙනා මේ පිළිබඳ වගකීම භාරගත යුතු බවත් ප‍්‍රකාශ කළේය.

    තිරසර සංවර්ධනයත් සමඟ රට සෞභාග්‍යවත් සහ දැහැමි දේශයක් ලෙස ගොඩනැගීමේ වැඩපිළිවෙළේ ප‍්‍රමුඛ ක්ෂේත‍්‍රයක් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ චර්යා ප‍්‍රවර්ධනය හඳුනාගෙන තිබෙන අතර ඒ සඳහා, තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහන, කි‍්‍රයාවට නංවා තිබේ.

    ‘සොඳුරු ළමා ලොවක් – සුරක්ෂිත හෙටක්’ තේමාව යටතේ ජනාධිපති කාර්යාලයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල අධීක්ෂණයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

    එහි පළමු අදියර ලෙස දීපව්‍යාප්තව පාසල් 3,409 ක තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර පාසල් දරුවන් අවදානම් චර්යාවලින් වළකාගනිමින් වැඩ ලෝකයට හා සමාජයට හුරුකිරීම හා පාසල් දරුවන් සමාජ විපර්යකාරකයන් ලෙස බලගැන්වීම මෙහි ප‍්‍රමුඛ අරමුණයි.

    ඉඩම් සහ භූමි පරිහරණ රටාව පිළිබඳ අවබෝධයක් ලබාදීම, පාසල් වත්ත නිපැයුම් ඒකකයක් බවට පත් කර ගැනීම, අලංකාර, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත පාසල් පරිශ‍්‍රයක් ඇති කිරීම, පාසල් භූමිය හා පරිශ‍්‍රය තුළ තිරසර සංවර්ධනය මගින් ලබන අත්දැකීම් තම නිවස කරා ගෙන යන විපර්යකාරකයා ලෙස පාසල් දරුවන් බල ගැන්වීම, මත්ද්‍රව්‍ය හා වකුගඩු උවදුර පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම, ස්වයං ආරක්ෂණය සඳහා දරුවන් බල ගැන්වීම, තිරසර සංවර්ධනයට දායක විය හැකි පරිදි දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය, දරුවන් තුළ යහපත් චර්යාවන් වර්ධනය කිරීම සෙසු අරමුණු අතර වේ.

    තිරසර පාසල් වැඩසටහනේ මාර්ගෝපදේශන සංග‍්‍රහය ජනාධිපතිතුමා විසින් මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත භාරදෙනු ලැබීය.

    තිරසර පාසල් වැඩසටහන පිළිබඳ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.

    තිරසර පාසල් වැඩසටහනේ ශිෂ්‍ය කමිටු නායකයින් පස් දෙනෙකු සඳහා තිරසර පාසල් වැඩසටහන් මාර්ගෝපදේශන සංග‍්‍රහය පිළිගැන්වීම, වකුගඩු රෝග නිවාරණයට අදාළව සකස් කරන ලද ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් කට්ටල ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පාසල් 05 ක් වෙනුවෙන් දැනුම මිනුම තරගය සඳහා නිර්දේශිත පොත් කට්ටල ප‍්‍රදානය, තිරසර සංවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා පාසල් උපකරණ ප‍්‍රදානය, වකුගඩු රෝගය හේතුවෙන් දෙමාපියන් අහිමි වූ උසස් පෙළ හදාරන සිසු දරුවන් පස් දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම හා දුරස්ථ පාලක ක‍්‍රමයට පාසල් 10 ක ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    කෙන්ගල්ල මහා විද්‍යාලයේ සිසු දරුවන් විසින් සකස් කර තිබූ ආදර්ශ ගොවිපොළ නැරඹීමට ද එක්වූ ජනාධිපතිතුමා එම දරුවන් සමඟ සුහද කථා බහක නිරත විය.

    අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, එම්.එච්. අබ්දුල් හලීම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් මැති ඇමතිවරු රැසක් ද විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya