ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    බෝවන රෝග විද්‍යායතනයේ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනතා අයිතියට

    පෙබරවාරි 02, 2017
    අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඉදි කළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ විවෘත කෙරිණි.
     
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අනුග‍්‍රහයෙන් ඉදිකිරීම් සිදුකර ඇති මෙම පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සකස්කර ඇත්තේ ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමේ මූලික අරමුණිනි.
     
    ඉදිකිරීම් සඳහා සැපයූ දායකත්වය අගය කරමින් බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතාට සහ එම රෝහලට හෙද නිලධාරීන් යොමු කිරීම වෙනුවෙන් නාවික හමුදාව වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.
     
    නව වාට්ටු සංකීර්ණය විවෘත කරමින් එහි ප‍්‍රථම රෝගියා ලියාපදිංචි කළ ජනාධිපතිතුමා රෝගීන් සමග සුහද කතාබහක ද නිරත වූ අතර වාට්ටු සංකීර්ණයේ ද නිරීක්ෂණ චාරිකාවක  නිරත විය.
     
    අනතුරුව නව දන්ත සායනාගාරය විවෘත කරමින් එහි නිරීක්ෂණයට එක් වූ ජනාධිපතිතුමා නව ඉදිකිරීම් සිදු කළ හමුදා සාමාජිකයන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
     
    මේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පා.ම. එස්.එම්. මරික්කාර්, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප‍්‍රසන්න සෝලංගආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya