ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    එස්. පියසේන මහතා සක්‍රියව පුවත්පත් කලාවේ නියැළි සිටි ප්‍රවීණ මාධ්‍යවේදියෙකි - අගමැති

    අප්‍රේල් 07, 2017

    වසර 77 ක මාධ්‍ය ජීවිතයක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. පියසේන මහතා ක්ෂේත්‍රයේ නවකයින්ට අත්පොතක් බඳු ප්‍රවීණයෙක් බවත් මෙබඳු ප්‍රවීණ මාධ්‍යවේදීන් අහිමිවීමෙන් ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වන හිඩැස පහසුවෙන් පුරවාලිය  නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහතා අභාවය වෙනුවෙන් ශෝක පණ්ඩුයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අගමැතිවරයාගේ සම්පූර්ණ ශෝක පණ්වුඩය පහත සඳහන් වේ.

    "විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක නිරත වූ, එසේම ලේඛකයකු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. පියසේන මහතා ජීවිතයෙන් සමුගත් බව අසන්නට ලැබීම සංවේගදායක ය. ජීවිතයෙන් සමුගන්නා තුරුම ස්වකීය මාධ්‍ය මෙහෙවර අත නොහැරි ඔහු අනූව දශකය ගෙවමින් සිටියදීත් සක්‍රියව පුවත්පත් කලාවේ නියැළි සිටි ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.

    1922 වසරේ උපත ලබා ඇති පියසේන මහතා, 1940 වසරේ ජනශක්ති නම් පුවත්පතෙහි සේවයට එක්වෙමින් වාමාංශික පුවත්පත් කලාව වෙනුවෙන් කැප වන අතර, 1948 වසරේදී දිනමිණ පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස ලේක්හවුස් ආයතනය හා එක්වෙයි.  

    පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කතා පරිවර්තක වන පියසේන මහතා ඉන්දීය ආකාශ්වාහිනී ගුවන්විදුලි නාලිකාවේ සිංහල වැඩසටහන් සම්පාදක, ලංකාදීප සහ දවස පුවත්පත් කර්තෘ, ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදක ආදී වශයෙන් විවිධ මාධ්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු කරමින් ස්වකීය කුසලතා මුවහත් කොට ගත්තෙකි.

    1978 වසරේ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ ප්‍රවෘත්ති ලේකම් තනතුරෙහි සේවය කළ එතුමා, 1983 දී වැඩ භාරගෙන ඉන්දියාවේ මදුරාසි නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස ද කටයුතු කර ඇත්තේය.

    වසර 77 ක මාධ්‍ය ජීවිතයක අත්දැකීම් ඇති මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ක්ෂේත්‍රයේ නවකයින්ට අත්පොතක් බඳු ප්‍රවීණයෙකි. මෙබඳු ප්‍රවීණ මාධ්‍යවේදීන් අහිමිවීමෙන් ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වන හිඩැස පහසුවෙන් පුරවාලිය හැක්කක් නොවේ. එතුමාගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් “හුදකලාවේ ආවර්ජන” නමින් කෘති කිහිපයක් ලෙස පළ වී ඇත.

    දූ දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන පියසේන මහතා, සිය දූ දරුවන්ද මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ මෙහෙවරක නියැළෙනු දකින්නට තරම් වාසනාවන්ත විය. එතුමාගේ දෙටු පුත් සුගීෂ්වර සේනාධීර මහතා වර්තමානයේ ජනාධිපති කාර්යාලයීය පර්යේෂණ හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේය.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. පියසේන මහතාගේ අභාවයෙන් ශෝකයට පත් සුගීෂ්වර සේනාධීර මහතා ඇතුළු පවුලේ සැමට,  ඥාති හිතමිත්‍රාදීන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමින්, ඒ මහතාට අමා මහ නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනය කරමි.  


    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya