ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ ආර්ථිකය වර්ධනය කොට ඉදිරියට යෑමට සැලසුම් කළ යුතුයි - අග්‍රාමාත්‍ය

    මැයි 24, 2017
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කොට ඉදිරියට යෑමට අප සැලසුම් සකස් කළ යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තරයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
     
    මාස කිහිපයක් ඇතුළත ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබු අතර ම ජපානය උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් පෙන්වාදෙන වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් ද උදව් උපකාර ලැබෙන බවත් අලුතින් එල්.එන්.ජී. විදුලි බලාගාර ඉදිකිරීමට, කොළඹ දියුණු කිරීමට, ත්‍රිකුණාමලය දියුණු කිරීමට, මහනුවර දියුණු කිරීමට, ඊසාන දිග ආර්ථික කලාපය ඇති කිරීමට එම රටවල් උපකාර කරන බවත් පෙන්වා දෙයි.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) දින කොළඹ, අරලියගහ මන්දිරයේදී ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගි වෙමිනි.
     
    "2015 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ පසුව නැවත වරක් තරුණයන්ට තැන දෙන වැඩසටහන් ඇති කිරීමට තීරණය කර තරුණ සේවා සභාව පණගැන්වීමට කටයුතු කළා. තරුණ සේවා සභාවෙන් දේශපාලනය ඉවත් කිරීමට අප කටයුතු කළා. දේශපාලනය කරන්නට පක්‍ෂ තිබෙනවා. තරුණ සේවා සභාවෙන් දේශපාලනය කළ යුතු නැහැ. ඒ අනුව අප ගම්මානවල ‍යෞවන සමාජ ආරම්භ කළා. ‍යෞවන පාර්ලිමේන්තුව ආරම්භ කළා. එම තීරණවලින් තාරුණ්‍යය තවත් ඉදිරියට යනවා. ‍යෞවන සමාජ සංඛ්‍යාව වැඩිකළ යුතු බව මා එහි සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. තරුණ නායකයින් වැඩි වශයෙන් මේ සඳහා එකතු කර ගත යුතුව තිබෙනවා. ගම්මට්ටමේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම නායකත්වය දෙන තරුණ නායකයන් ඒකරාශි කරන වැඩසටහනක් තරුණ සේවා සභාවෙන් ඉදිරිපත් කළ යුතුයි". 
     
    "ගමට කෝටියක් වැඩසටහන යටතේ ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකිරීමට ද අප තීරණය කර තිබෙනවා. එම වැඩසටහන තුළින් ද තරුණ නායකයන් බිහිවෙනවා. තරුණ තරුණියන් ඒකරාශී කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණේ දශක දෙකකට පසුවයි. අප තරුණයන් ඒකරාශී කරන්නේ ඉදිරියට ගොස් අලුත් සමාජය ඔවුන්ට ලබාදීමටයි". 
     
    චීන රජය අපට ඩොලර් මිලියන 300 ක ප්‍රදානයක් දුන් බවත් කොළඹ මූල්‍ය නගරය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර ම හම්බන්තොට වරාය ආශ්‍රිත ව විශාල කර්මාන්තකරණයක් ඇති කිරීමට මෙන් ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කිරීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා මේ සියල්ලට ම වඩා අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය බෙහෙවින්ම උපකාරී වන බවත් වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya