ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බලශක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය ලබාදෙනවා - ඔස්ට්‍රේලියා අගමැති

    මැයි 26, 2017

    බලශක්ති අර්බුදයට මුහුණදෙමින් බලශක්තියෙන් සුරක්ෂිතවීම සඳහා ස්ථීර සාර වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

    ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුවක් ඊයේ (25)  ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඕස්ට්‍රේලියා ආයෝජකයින් සූදානමින් සිටින බව පැවසූ ඕස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයා ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් කි‍යාවට නංවන බවට ද සහතික විය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ මැණුම් කටයුතු සහ තොරතුරු රැස් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික සහය ලබාදිය හැකි බව ද පැවසූ ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික හා පර්යේෂණ දැනුම ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    එමෙන්ම සංචාරක කර්මාන්තයේ මානව සම්පත පුහුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහය ලබාදීමටද එකඟතාවය පළ කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක‍්‍රමණිකයින් වැළැක්වීමට ශ්‍රී ලංකා රජය ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයා එම සහය අඛණ්ඩවම අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ඊට කඩිනම් ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බවට සහතික විය.

    ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට ඔස්ටේ‍්‍රලියාවේ සහය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා ඔස්ටේ‍්‍රලියා ජාතික විද්‍යා තාක්ෂණ සංවිධානයේ සහය ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

    එම නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා එරට අග‍්‍රාණ්ඩුකාර නිල නිවසේ (Government House) සංවිධානය කර තිබු විශේෂ පිළිගැනීමේ උත්සවයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    අග‍්‍රාණ්ඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග‍්‍රාණ්ඩුකාර Sir Peter Crosgrove මහතා සහ එම මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

    ආචාර වෙඩිමුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ෂවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි. එමෙන්ම දෙරටේ ජාතික ධජ වලින් අග‍්‍රාණ්ඩුකාර නිල නිවාස පරිශ‍්‍රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජාතික සංහිඳියාව සඳහා තම රජය කැපවී සිටින බවත් ඒ තුළින් ජනතාවට සෞභාග්‍ය උදකරදීමට අපේක්ෂා කරන බවත්ය.

    දශක හතක් පුරා පැවති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම රාජ්‍ය සංචාරය සඳහා තමා වෙත ආරාධනා කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියා රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

    පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග‍්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක් විය.

    ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ දේශසීමා සහ ආගමන විගමන කටයතු පිළිබඳ අමාත්‍ය Peter Dutton මහතා සහ ජනධිපතිතුමා අතර හමුවක් එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා හමුවීමට පැමිණියේ ඔස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමතිනි Julie Bishop මහත්මියයි.

    ඔස්ට්‍රේලියා ආරක්ෂක ඇමතිණි Marise Payne මහත්මිය ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා හමු වූවාය.

    එම හමුවෙන් අනතුරුව ඔස්ට්‍රේලියා විපක්ෂනායක Bill Shortern මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පැවැත්විණි.

    සිය සංචාරයේ දෙවන දින නිල කටයුතු සාර්ථකව නිමාකළ ජනාධිතිතුමා ඉන් අනතුරුව සිඩ්නි නුවර බලා පිටත්ව ගියේය.

    හෙට සිඩ්නි නුවර පැවැත්වෙන ව්‍යාපාරික හමුවක් සඳහා ජනාධිපතිතුමා එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya