ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අගමැති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර සාකච්ඡාවක්

    ජූනි 08, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉකුත් 05 වැනිදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටර්ස් (Mr. António Guterres) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටර්ස් මහතා, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන ඓතිහාසික සාගර සමුළුව සඳහා සහභාගි වීම අගය කරමින් ප්‍රශංසාව පළ කර සිටියේය. සාගරය සම්බන්ධව ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පැවැති සමීප සබඳතා ගැන සිහිපත් කළ ඇන්තෝනියෝ මහතා සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස්වරයා ලෙස මීට පෙර කිහිප වතාවක් ශ්‍රී ලංකාවට පැමිණි බව ද සඳහන් කළේය.
     
    සත්‍ය සෙවීම, යුක්තිය පසිඳලීම, වන්දි ලබාදීම සහ නැවත සිදුනොවීමට වගබලා ගැනීම යන ප්‍රධාන කරුණු හතර ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය, නීතිය සහ ජාතික සංහිදියාවට බලපාන අනෙකුත් සාධක ක්‍රියාවට නැංවීමට බලපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක කටයුතු කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය එක්සත් ජාතීන්ගේ බලාපොරොත්තුව බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටර්ස් මහතා සහතික කළේය.

    පසුගිය දා ශ්‍රී ලංකාවේ ඇති වූ ගංවතුර ආපදාවට සහයෝගය ලබාදෙන බවත්, මධ්‍යම හදිසි ආපදා අරමුදල (Central Emergency Relief Fund) මගින් හදිසි ආධාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ මානව සබඳතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ස්ටෙෆන් ඔ’බ්‍රයන් (Mr. Stephen O’Brien) මහතා මෙහිදී සඳහන් කර සිටියේය. හදිසි සහන සැලසීම වෙනුවෙන් දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන වෙත අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කරන ලදී. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ආචාර්ය රොහාන් පෙරේරා සහ අමාත්‍ය උපදේශිකා සොනාලි සමරසිංහ මහත්මිය ද සහභාගි වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර රැදී සිටින කාලය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ් ෆෙල්ට්මන් (Mr. Jeff Feltman) සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීසියා ස්කොට්ලන්ඩ් (Hon Patricia Scotland) මහත්මිය ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya