ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දේශගුණික විපර්යාශයට ආර්ථිකය සැලසුම් විය යුතුයි- අගමැති

    ජූලි 18, 2017

    ඊළඟ මාස කිහිපයේ දී නියං තත්ත්වය දෙස අවධානය යොමු කොට ඇතැම් තීරණ ගන්නට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ට්‍රැක්ටර් ජල බවුසර් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියරට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කළේය.

    දේශගුණ විපර්යාසයක් සිදු වෙනවා නම් අපගේ ආර්ථිකය ඊට ගැලපෙන අයුරින් සකස් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුව බවත්  එම ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කොට ඊට මුහුණදීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    රජයක් ලෙස අලුත් පරපුරේ අනාගතය ගැන සිතා තීන්දු තීරණ ගත යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා ඒ වෙනුවෙන් පරිසරය ආරක්‍ෂා කර ගත යුතු අතර පරිසරය ආරක්‍ෂා කර ගෙන සංවර්ධන කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "නියඟයෙන් පීඩා විදින දිස්ත්‍රික්ක 5ක් සඳහා බවුසර් සහ ට්‍රැක්ටර් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර මෙලෙස ක්‍රියාත්මක වෙනවා. පළමු වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නියඟයට ලක් වූ පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වෙනුවෙන් මෙම ජල බවුසර් ලබාදෙනවා. මෙම වැඩසටහන සංවිධානය කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගිනුයි. එම නිසා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට මගේ විශේෂ ස්තූතිය පළ කරනවා. මෙම වැඩ කටයුතු සාර්ථකව කිරීම සඳහා එතුමා විශේෂ උනන්දුවක් ගෙන තිබෙනවා.

    වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් මෙම වතුර බවුසර් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම ආයතන විසින් කුලියට ගන්නා බවුසර්වලට අමතරව ඔවුන්ටම බවුසර් ලබාදීමෙන් තවත් කාර්යක්‍ෂම සේවයක් ලබා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරනවා.

    වර්තමානය වන විට ශ්‍රී ලංකාව නියං තත්ත්වයකට මුහුණ දී සිටිනවා. එය දිගු කාලීන නියඟයක් බව කිව යුතුයි. මීට පෙර වකවානුවලත් අප නියඟවලට මුහුණ දී තිබෙනවා. නමුත් මෙම තත්ත්වය එවැනි ස්වභාවික නියඟයක් දැයි අපට විමර්ශනය කළ යුතුව තිබෙනවා. ඇතැම් විට ස්වභාවයෙන්ම නියං තත්ත්වයන් උදා වෙනවා. නැතිනම් වැසි සහිත කාලගුණයන් පවතිනවා. මෙම නියඟය ශ්‍රී ලංකාවට පමණක් සීමා වී නැහැ. ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් ගණනාවක් මේ තත්ත්වයට මුහුණ දී සිටිනවා.

    අපේ කලාපයේ මෙන්ම ලොව අනෙක් කලාපවල ද දේශගුණ පරිවර්තනයක් සිදු වෙනවා දැයි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර නිලධාරීන්, උපදේශකවරුන් කියන්නේ ලෝකය දරුණු නියං තත්ත්වයක් කරා ගමන් කරන බවයි. ඉන්දියාවේ ඇතැම්  ප්‍රදේශ අපටත් වඩා දරුණු නියං තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. එසේ නම් මෙය අලුත් තත්ත්වයක් බව කිව යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැරිස් ගිවිසුමට අත්සන් කළේ මෙවැනි තත්ත්වයන් පිළිබඳ කල්පනා කිරීමෙන් පසුවයි. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya