ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වසර 40ක් දේශපාලනයේ රැඳී සිටීම අසීරු කටයුත්තක් - අගමැති

    ජූලි 26, 2017
    දේශපාලන ජීවිතයේ මෙතෙක් දුර ඉදිරියට පැමිණීමට හැකිවේ තමන් නොසිතූ අතර ම වසර 40ක් දේශපාලනයේ රැදී සිටීම ඉතා අසීරු කටයුත්තක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් සැපිරීම නිමිත්තෙන් කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ පැවති ආගමික වැඩසටහනට සහභාගි වෙමිනි.
     
    එමෙන් ම ඒ තුළ ජය පරාජය ආදි සියලු දේ තිබෙන නමුත් නිසි අවබෝධයකින් සහ විග්‍රහයකින් යුතුව සියලු දෙයට ඉදිරියට යාමේ හැකියාව තමා හට හිමි වූයේ බුද්ධ ධර්මයේ පිහිට මත බවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා සහ ධම්ම පදය පරිශීලනය දේශපාලන දිවියේ මෙතරම් දුර පැමිණීමට අවශ්‍ය ගැඹුරු වැටහීම තමන් වෙත ලබාදුන් බවත් එය පිනක් හා වාසනාවක් ලෙස තමන් සලකන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුණි. 
     
    "මගේ මිත්තණිය හෙලේනා විජේවර්ධන ළමාතැනීගේ කාලයේ ආරම්භ කළ මෙම විහාරස්ථානයේ ඇති පැරණි බිතුසිතුවම් අප සංස්කෘතික ත්‍රිකෝණයේ ව්‍යාපෘති හරහා දැන් නැවතත් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආධාර ලබාදීමට අප සූදානම්. අවුරුදු 100 ඉක්මවූ, ප්‍රතිසංස්කරණය කළ යුතු මෙවැනි පැරණි විහාරස්ථාන ගණනාවක් තිබෙනවා. අප ඒ විහාරස්ථාන ආරක්ෂා කරනවා.  ඒවගේම අප මේ වන විට තවත් වැඩ කටයුත්තක් ආරම්භ කර තිබෙනවා".
     
    "බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිණිය, බුදුන් වහන්සේ ජීවත් වූ කපිලවස්තු පුරය ආදි නගරයන්හි පුරා විද්‍යා කටයුතු සඳහා අවශ්‍ය ආධාර ලබාදීමයි. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර නේපාල රජයට ලබාදීමට අප අවස්ථා කීහිපයකදීම සාකච්ඡා කර තිබෙනවා. මෙම නගරවල පුරාවිද්‍යා කටයුතු සඳහා ආධාර අවශ්‍ය බව මහාචාර්ය රොබින් කොලින්හැම් මහතා ද පවසා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මගේ එකගත්වය මත මෙරටට පැමිණි නේපාල ස්වදේශ කටයුතු ඇමතිවරයා සහ නේපාල තානාපතිවරයාත් සමඟ සාකච්ඡා කරමින් ලුම්බිණිය සහ කපිලවස්තුපුරයට අවශ්‍ය පුරා විද්‍යා වැඩකටයුතු සඳහා ආධාර ලබාදීමට අප තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ ව නේපාල අගමැතිතුමාට ද දැනුම් දී තිබෙනවා"'. 
     
    "මේ ආකාරයට මායාවතී විහාරයේත් සංවර්ධන වැඩ කටයුතු අවසන් වී තිබෙනවා. ඒ හරහා ගෞතම බුදුන් වහන්සේගේ උපතත් මහාවංශයේ සත්‍යතාවත් ඔප්පු වී තිබෙනවා.  මෙම වැඩකටයුතු සඳහා ආධාර උපකාර මෙන්ම විශේෂඥ දැනුමද අවශ්‍යයි. එමනිසා මේ සියලු දේ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් මූලික වශයෙන් ඩොලර් මිලියනයක මුදලක් නේපාල රජයට ලබාදීමට අපි එකඟ වී සිටිනවා. ඒ වගේම සංස්කෘතික ත්‍රිකෝණයේ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන්ටත් එම සංවර්ධන වැඩකටයුතුවල සේවය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා" යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya