ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සියලු දේ අනාගත පරපුර ශක්තිමත් කිරීමටයි - අගමැති

    අගෝස්තු 02, 2017
    තරුණ ප්‍රජාව අනාගත වගකීම භාර ගන්න පරපුරක් ලෙස ශක්තිමත් කිරීමට සියලු දේ සිදු කරන බවත් ඒ හරහා තරුණයන්ට අපටත් වඩා හොඳ අනාගතයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන "තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරයේ කොඩිය" පැළදවීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    නිදහසේ ජීවත් විය හැකි සමාජයක් අද නිර්මාණය කර තිබෙන බවත් ඕනෑම කෙනෙකුට බයක් සැකක් නොමැතිව ආණ්ඩුව විවේචන කිරීමට මෙන් ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද තිබෙන බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ව්‍යවස්ථාදායක බලය ලබාගෙන තිබෙන බවත් මේ සියලු දේ සඳහා වත්මන් රජය ආධාර උපකාර කළ බවත් පෙන්වා දුනි.
     
    "යොවුන් කොඩි දින සැමරුම අප ආරම්භ කළේ 1985 වසරේදීයි. පසුගිය වසරේදීත් අප සාර්ථක අයුරින් කොඩි දිනය පැවැත්වුවා. මුදල් සොයාගත්තා. ඒ අයුරින්ම මේ වසරේදීත් ජනතාව අපට සාර්ථක අයුරින් උපකාර කරාවි යැයි මා සිතනවා. ජනතාවගේ කැපවීමෙන් ලබන මුදල් පමණක් නොව ඊටත් වඩා වැඩිපුර මුදල් අප වෙන් කරනවා. විශ්ව විද්‍යාලවලින් නිකුත් කෙරෙන විවිධ කෘති සඳහා ආධාර දීමට රුපියල් මිලියන සියයක මුදලක් වෙන් කරනවා. 
    එමෙන්ම ගමට කෝටියක් වැඩසටහන සඳහා අප තවත් මුදල් වෙන් කරනවා" යැයි ද කීය. 
     
    එපමණක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අප මේ වනවිට නිවාස ඉදිකිරීමට පියවර ගෙන තිබෙන අතරම මෙරට ජාතික ණය විශාල ප්‍රශ්නයක් වී තිබුණ ද එම ණය තරුණ පරපුරට උරුම කර නොදී 2020 වන විට හොඳ ණය පාලනයක් ඇති කරගෙන 2025 වසර වන විට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිම මේ වන විට නිර්මාණය කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. 
     
    "එමෙන්ම විශාල සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. හම්බන්තොට දියුණුව, කොළඹ දියුණුව, කළුතර කර්මාන්ත පුරය, ගාල්ල ප්‍රදේශයේ සංචාරක වැඩසටහන්, මහනුවර දියුණුව එමෙන්ම වයඹ කර්මාන්ත හා සංචාරක දියුණුව, බස්නාහිර මහනගරය, ත්‍රිකුණාමලය දියුණුව වැනි විශාල වැඩසටහන් ක්‍රියාත්මක කරනවා". 
     
    "එමෙන්ම මොරගහකන්ද මෙන්ම මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මේ අයුරින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. ඒ තුලින් හොඳ අනාගතයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබේවි. අපනයන කර්මාන්ත දියුණු කිරීමෙන් ශීඝ්‍ර ලෙස මුදල් උත්පාදනය කිරීමට හැකි වනවා". 
     
    අනාගතයේ දී නැවත අපට ණය ගන්නා ජාතියක් හෝ හිඟන ජාතියක් බවට පත්වීමට අවශ්‍යතාවයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.   
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya